පරිගණක හැකර්වරුන් බවට සැක? චීන ජාතිකයන් 37ක් අල්ලයි

අන්තර්ජාලය හරහා නීතිවිරෝධී වැඩකටයුතු කරා කියලා සැකපිට, කාන්තාවක් ඇතුළු චීන ජාතිකයින් 37 දෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තියෙනවා.

මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙලා තියෙන්නේ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සහ තලංගම පොලිසියේ දූෂණ මර්දන ඒකකය එක්ව කරපු මෙහෙයුමකදී.

තලංගම කොස්වත්ත ප්‍රදේශයේ කුලීට ගත්ත ගෙයක් වැටලූ වෙලාවේ, එතැනින් ඩෙස්ක්ටොප් පරිගණක 35ක්, ටැබ් 37ක්, ජංගම දුරකථන 147ක්, සිම්පත් 100ක් සහ නීතිවිරෝධී දුම්වැටි 2100ක් හමුවෙලා තියෙනවා.

ඒ සියලු උපකරණත් එක්කම ඒ නිවස මුද්‍රා තබලා තියෙනවා කියලා පොලිසිය කියනවා.

අත්අඩංගුවට ගත් මේ චීන ජාතිකයන් මාස 3ක සංචාරක වීසා මත මෙරටට ඇවිත්, මේ වගේ නීතිවිරෝධී සේවාවන් කරගෙන ගියා කියලා මුල් විමර්ශනවලින් හෙළිවෙලා තියෙනවා.

ඔවුන් අන්තර්ජාලයෙන් මූල්‍ය වංචා කරලාද, හැකර්ලා වගේ වැඩ කරලාද, නැත්තම් වෙනත් සයිබර් අපරාධ වල නිරත වෙලාද කියලා තවත් පරීක්ෂණ කරගෙන යනවා.

එම පරීක්ෂණ සඳහා, අත්අඩංගුවට ගත් උපකරණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට භාර දීමටත් කටයුතු කරලා තියෙනවා.

ඒ වගේම, අත්අඩංගුවට ගත් 37 දෙනාව ලබන 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන්න කියලා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරලා තියෙනවා.

Share This