මත්පැන් පානය කරලා සුර් මතින් බයික් පැද්ද කාන්තාවන් 4ක් අත්අඩංගුවට

අඟුරුවාතොට ප්‍රදේශයේ සිදුකළ රථවාහන පරීක්ෂාවකදී මත්පැන් පානය කර යතුරුපැදි ධාවනය කරමින් සිටි කාන්තාවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරමින් පොලිසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් කාන්තාවන් වයස අවුරුදු 26 සිට 29 අතර වන අතර, ඔවුන් හොරණ සහ ගෝනපල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

පොලිස් පරීක්ෂණ අනුව, මෙම කාන්තාවන් හොරණ රෙමුණ බැල්ලපිටිය ආඳාදොල ප්‍රදේශයට දිය නෑමට ගොස් එහිදී මත්පැන් පානය කර ඇති අතර, එමෙන් පසුව යතුරුපැදිවලින් නැවත නිවෙස් වෙත ගමන් කරමින් සිටියදී අඟුරුවාතොට පොලිසියේ නිලධාරීන් විසින් සිදුකළ රථවාහන පරීක්ෂාවකට හසු වී ඇත.

එම අවස්ථාවේදී ඔවුන් සිව් දෙනාම එකම මාර්ගයකින් එකට ගමන් කරමින් සිට ඇති අතර, මත්පැන් පානය කර සිටින බව තහවුරු වීමෙන් පසු ඔවුන් එම ස්ථානයේදීම අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

තවද, සිදුකළ වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, මෙම කාන්තාවන් කාලයක් තිස්සේ මෙලෙසම ආඳාදොල ප්‍රදේශයට පැමිණ දිය නෑමෙන් පසු මත්පැන් පානය කර යතුරුපැදිවලින් ආපසු ගමන් කරන බවයි. ඔවුන් අතර මත්පැන් භාවිතයට ඇබ්බැහි වීමේ ලක්ෂණද පවතින බවට පොලිසිය සැක පළ කරයි.

මෙවැනි ක්‍රියා මාර්ගය මගීන්ගේ සහ වෙනත් මාර්ග භාවිතාකරුවන්ගේ ජීවිත වලට දැඩි අවදානමක් ඇති කළ හැකි බැවින්, මත්පැන් පානය කර රිය පැදවීම සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක කරන බවද පොලිසිය අවධාරණය කරයි.

Share This