පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ගැන මෛත්‍රීපාල සිරිසේන,නිලන්ත ජයවර්ධන තොරතුරු දැන සිටියා? හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂයෙන්ම වැදගත් කරුණු කිහිපයක් හෙළි කරමින්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ප්‍රකාශයක් ලබාදී තිබේ.
ඔහු ප්‍රකාශ කළේ, එවකට ජනාධිපති ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා වූ නිලන්ත ජයවර්ධන යන දෙදෙනාටම මෙම ප්‍රහාරය පිළිබඳව පෙර තොරතුරු තිබූ බව තමන් විශ්වාස කරන බවයි. එමෙන්ම, නිලන්ත ජයවර්ධන විසින් එම තොරතුරු සඟවා තැබීමට කටයුතු කළ බවටද ඔහු චෝදනා කළේය.
අධිකරණය ඉදිරියේ කළ ප්‍රකාශයේදී ඔහු දැඩි වචන භාවිතා කරමින් කියා සිටියේ, “ආරක්ෂක අමාත්‍යවරයා මෙන්ම සන්නද්ධ හමුදාවල ප්‍රධානියා වූ ජනාධිපතිවරයා එම අවස්ථාවේ රටින් පිටව ගියේය. ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වීමේ පවට මම මේ නඩුවට පැටළුණා,” යනුවෙනි. තවද, තමන් ඉදිරිපත් කළ තොරතුරු නිසි ලෙස විශ්ලේෂණය කළේ නම් මෙම නඩුව තමන්ට එරෙහිව ගොනු නොකළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
ඔහු තවදුරටත් සඳහන් කළේ, මෙම ප්‍රහාරය පිළිබඳව වගකිව යුතු පුද්ගලයින් තවමත් නිදැල්ලේ සිටින බවත්, එය යුක්තිය ඉටු නොවීමක් ලෙසද දැක්විය හැකි බවයි.
මෙම නඩුව ගොනු කර ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට ඇති බවට පෙර ලැබී තිබූ බුද්ධි තොරතුරු ප්‍රමාණවත් ලෙස භාවිතා නොකර එය වළක්වා ගැනීමට අසමත් වීම හේතුවෙන් “රාජකාරිය සාපරාධී ලෙස පැහැර හැරීම” ඇතුළු චෝදනා යටතේය.
මෙම නඩුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ලක්වෙමින් පවතී.
