සඳ වටා ගිය ගගනගාමීන් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා සාර්ථකව ගමන් කර පෘථිවියට ආපසු පැමිණි ආර්ටිමිස් II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේදී ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී තිබෙනවා.

මෙම හමුවේදී හඳුනා නොගත් පියාඹන වස්තු (UFO), අභ්‍යවකාශ බලකාය සහ ඉරාන යුද්ධය වැනි විවිධ මාතෘකා ගැනද ජනාධිපතිවරයා අදහස් පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අවස්ථාවට නාසා ආයතනයේ ගගනගාමීන් වන රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සියේ ජෙරමි හැන්සන් යන අය සහභාගී වී ඇති අතර ඔවුන් නිල් පැහැති ජැකට් ඇඳගෙන ජනාධිපතිවරයා හමුවට පැමිණ තිබේ.

ගගනගාමීන්ගේ දක්ෂතාව අගය කරමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, “ඔවුන් මේ දේ කරන්නේ කොහොමද කියලා මට හිතාගන්නවත් බැහැ. මම නම් ඒකට කැමති වෙන්නේ නැහැ. නමුත් අපේ රට ශ්‍රේෂ්ඨ කරන්න මෙවැනි මිනිසුන් අනිවාර්යයි” යනුවෙනි.

තවද, ඔහු පවසා ඇත්තේ තම පාලන කාලය තුළ තවත් වරක් මිනිසෙකු සඳ මතට යාමට ඉතා හොඳ අවස්ථාවක් ඇති බවයි.

මේ අතර නාසා පරිපාලක ජැරඩ් අයිසැක්මන්ද තහවුරු කර ඇත්තේ 2027දී ආර්ටිමිස් III මෙහෙයුම දියත් කිරීමටත්, 2028දී නැවතත් මිනිසෙකු සඳ මතට යැවීමටත් සැලසුම් කර ඇති බවයි.

Share This