ජාතික තරුණ සේවා සභාවට අයත් එරමිණියාය සෞන්දර්ය නිකේතනය යළි වැඩ අරඹයි
වසර දෙකකට පසු ජාතික තරුණ සේවා සභාවට අයත් එරමිණියාය සෞන්දර්ය නිකේතනය ඊයේ (22) යළි ආරම්භ කෙරුණා.
එමඟින් සංගීත සහ නර්තන විෂයන්ට අදාළ ලලිත කලා උසස් ඩිප්ලෝමා පාඨමාලාව නැවත ආරම්භ කර නවක සිසුන් 70කට ආසන්න පිරිසක් මෙවර පළමු කණ්ඩායම ලෙස බඳවා ගෙන තිබෙනවා. මෙම පාඨමාලාවට සමඟාමීව ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණය වැනි අමතර විෂය දැනුමද ලබාදීමට නියමිත බව සදහන් වෙනවා.
මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා.
ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා සඳහන් කරන්නේ මීට පෙර වසර දෙකක ලලිත කලා ඩිප්ලෝමා පාඨමාලාවක් ලෙස ක්‍රියාත්මක වූ මෙය මෙවර වසර තුනක උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් ලෙස සංවර්ධනය කර ඇති බව. එහිදී NVQ මට්ටම් 5 සහ 6 ලබාදීමත්, අවසන් වසරේ වෘත්තීයමය ශිල්පීන් බිහිකිරීමත් අරමුණ බවද ඔහු පවසනවා.

