මැද පෙරදිග යුද උණුසුම මැද මත්තලට හොද ඉල්ලමක්! එමිරේට්ස් ගුවන් තොටුපළ පහසුකම් ඉල්ලයි

මැද පෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින යුද උණුසුම් තත්ත්වය හේතුවෙන්, ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ සහ වරායන් භාවිත කිරීම සඳහා විදෙස් ගුවන් සේවා සහ නෞකා සමාගම්වලින් ඉල්ලුම ඉහළ ගොස් ඇත.
වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය Anura Karunatilaka මහතා බීබීසී සිංහල වෙත පැවසුවේ, අමතර ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සඳහා කටාර්, එමිරේට්ස් සහ ඕමාන් ආශ්‍රිත ගුවන් සේවා විසින් ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ පහසුකම් ඉල්ලා ඇති බවයි.
අමාත්‍යවරයා අනාවරණය කළේ, මේ වනවිට එම ගුවන් සේවාවන් වැඩි වශයෙන් ඉල්ලීම් කරන්නේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) භාවිත කිරීම සඳහා වන බවයි.
කෙසේවෙතත්, එහි පවතින තදබදය හේතුවෙන්, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ භාවිත කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති බවද ඔහු සඳහන් කළේය.
“වර්තමාන යුද තත්ත්වය තුළ අමතර ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට ඉල්ලීම් ලැබී තිබෙනවා. ඒ සඳහා විකල්ප ලෙස මත්තල භාවිත කිරීම අපගේ යෝජනාවයි,” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.
මෙම වත්මන් තත්ත්වය හමුවේ, ශ්‍රී ලංකාව තාවකාලික ගුවන් ගමන් මධ්‍යස්ථානයක් (Temporary Hub) ලෙස භාවිත කිරීම සඳහා ගල්ෆ් කලාපයේ ගුවන් සේවාවලින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් Daminda Rambukwella මහතා බීබීසී සිංහල වෙත පැවසුවේ,
“තාවකාලික ගුවන් මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීම සඳහා ඉල්ලීම් ලැබී තිබෙනවා” යනුවෙනි.
දැනට ඇමරිකාව සහ යුරෝපය සම්බන්ධ කරන ගුවන් ගමන් සඳහා ප්‍රධාන මධ්‍යස්ථාන ලෙස ඩුබායි, අබුඩාබි සහ දොහා වැනි ගුවන් තොටුපළ ක්‍රියාත්මක වේ.
එහෙත්, මැද පෙරදිග යුද තත්ත්වය හේතුවෙන් මෙම මධ්‍යස්ථාන වලට විකල්ප ලෙස ශ්‍රී ලංකාව යොදා ගැනීම පිළිබඳ අවධානය වැඩි වී ඇති බව වාර්තා වේ.
