බටුවත්ත චාමරගේ බිරිදගේ නිවසේ වැඩිහිටි නිවාසයක් – වෙඩි තියනකොටත් වැඩිහිටියෝ 9ක් ඇතුළේ

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘බටුවත්තේ චාමර’ ගේ බිරිඳට අයත් නිවසට අද (07) අලුයම එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට තවත් තොරතුරු අනාවරණය වී තිබේ. එම වෙඩි තැබීමේදී ඉලක්ක කරගත් නිවසට අමතරව අසල පිහිටි තවත් නිවාස දෙකකට ද වෙඩි වැදී ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.

ජා ඇළ, ශාන්ත ආනා පාර, වැලිගම්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක් ඉලක්ක කර අද අලුයම 1.25ට පමණ මෙම ප්‍රහාරය සිදුකර ඇත. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු T56 වර්ගයේ ගිනි අවියක් භාවිත කරමින් වෙඩි ප්‍රහාර 23 ක් පමණ එල්ල කර තිබේ. මෙම ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවී නොමැත.

මෙම නිවස ‘බටුවත්තේ චාමර’ හෙවත් මනෝජ් සුරංග ලියනගේගේ බිරිඳ වන චතුරිකා වීරසූරිය සතු වුවද, ඇය දැනට ඩුබායි රාජ්‍යයේ වාසය කරයි. ඇය මාස දෙකකට පමණ පෙර සිට මෙම නිවස වැඩිහිටි නිවාසයක් සඳහා මාසිකව රුපියල් ලක්ෂ 1යි දහස් 25ක (රු. 125,000) මුදලකට කුලියට ලබා දී ඇති බව වාර්තා වේ.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ එම නිවසේ වැඩිහිටියන් 9 දෙනෙකු සහ සාත්තු සේවිකාවන් 4 දෙනෙකු නිදා සිට ඇත.

මීට පෙර ද 2025 වසරේ දෙසැම්බර් මස 15 වැනිදා සහ 24 වැනිදා යන දින දෙකේදී මෙම නිවසට මෙලෙසම වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බව පොලිසිය පවසයි. අද එල්ල වූ ප්‍රහාරය සමග මෙම නිවසට එල්ල වූ වෙඩි ප්‍රහාර ගණන තුනක් දක්වා ඉහළ ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ජා ඇළ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share This