බටුවත්ත චාමරගේ බිරිදගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

ජා ඇළ, මාර්තු 07 – සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘බටුවත්තේ චාමර’ හෙවත් චාමර බණ්ඩාරගේ බිරිඳගේ නිවසට අද (07) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ජා ඇළ, ශාන්ත ආනා පාරේ පිහිටි මෙම නිවසට අද අලුයම් කාලයේදී නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය පවසයි. මෙම වෙඩි තැබීමෙන් නිවසට හානි සිදුවී ඇති නමුත්, එහි සිටි කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවී නොමැති බව පොලිස් මූලාශ්‍ර සඳහන් කරයි.

ප්‍රහාරය එල්ල කළ සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ වෙඩි තැබීම සිදුකර එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවට පොලිසිය සැක කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ප්‍රදේශයේ ස්ථාපනය කර ඇති සීසීටීවී කැමරා පරීක්ෂා කිරීමට ද පියවර ගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

ජා ඇළ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Share This