බැකෝ සමන්ගේ බිරියගේ සහ සමීපතමයන්ගේ බැංකු ගිණුම් 13ක් තහනම්

බැකෝ සමන්ගේ බිරියගේ සහ සමීපතමයන්ගේ බැංකු ගිණුම් 13ක් තහනම්

(අකිලා නදීෂානි බණ්ඩාර)
රිමාන්ඩ් භාරයේ පසුවන බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන සජිකා ලක්ෂානී පත්තිනිගේ නමැත්තියට සහ ඇයගේ සමීපතයන්ට අයත් බැංකු ගිණුම් 13ක් තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙයි.
මෙම පැමිණිල්ල අද (09) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී, විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය මෙම දැනුම් දීම සිදු කළාය.
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී රිමාන්ඩ් භාරයේ පසු වන ෂාධිකා ලක්ෂානී නමැත්තිය දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
එහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය පනතේ 54 වන වගන්තිය සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඇය මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් අතිවිශාල මුදලක් උපයාගෙන තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළාය.

Share This