නීතියට ගරු කර කුවේටයේ ආගමන නීති උල්ලංඝණය කිරීමෙන් වළකින්න

කුවේටයේ මිනිස් බල අධිකාරිය යටතේ පවත්වාගෙන යනු ලබන රජයේ නිවාසය තුළ රැඳී සිටින ශ්‍රි ලාංකික කාන්තාවන් පිරිසක් පසුගිය සැප්තැම්බර් 25 වන දින උද්ඝෝෂණයක නිරත වෙමින් එය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ සිදුවීම කෙරෙහි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු සුබසාධන අංශයේ විශේෂ අවධානය යොමුවූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
එම නිවස්නයේ රැඳී සිටින පිරිස ශ්‍රි ලංකාවට එවීමට බලධාරීන් විසින් ප්‍රමාද කරන බවට අදාළ කාන්තාවන් විසින් සමාජ මාධ්‍ය හරහා චෝදනා එල්ල කර තිබිණි.
මේ සම්බන්ධයෙන් කඩිනමින් සොයා බැලූ තානාපති කාර්යාලය අදාළ කාන්තාවන්ගේ චෝදනා සාවද්‍ය බව සඳහන් කරයි. එම කාන්තාවන් ලියාපදිංචි වී රැකියා සඳහා පිටත්ව ගොස් ඇති නමුත් ඔවුන් තම රැකියා ස්ථානවලින් පැන ගොස් ආගමන විගමන නීති උල්ලංඝණය කර ඇති අතර, තානාපති කාර්යාලය විසින් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා රැඳවුම් නිවාසයට භාරදී තිබේ.
ශ්‍රි ලංකාවට ඉක්මණින් පිටත්වීමට අවශ්‍ය නම්, රැඳවුම් නිවස්නයේ සිට උද්ඝෝෂණය කර, එය වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන ලෙස ඔවුන්ට කිසියම් පිරිසක් විසින් වංචනික උපදෙස් ලබා දීම හේතුවෙන් එම කාන්තාවන් විසින් මෙම ක්‍රියාව සිදුකර ඇති බවට තානාපති කාර්යාලයට තොරතුරු ලැබී තිබේ. මෙවැනි නීතී උල්ලංඝන ක්‍රියා මගින් ඒ සඳහා උසිගන්වන්නන් යම් යම් වෙනත් පෞද්ගලික වාසි ලැබුව ද එම ක්‍රියාවන් සඳහා යොමුවෙන ශ්‍රී ලාංකිකයින්ට සිදුවෙන්නේ ඒ රටේ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව ලක් වී ලංකාවට පැමිණෙන ක්‍රියාවලිය සංකීර්ණ සහ නීතිමය කටයුතු හරහා සිදුවීමක් නිසා එවැනි ක්‍රියාමාර්ගවලින් වළකින්නැයි ඉල්ලා කාර්යාංශය ඉල්ලා සිටී.
කුවේටයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කරන්නේ ආගමන නීති උල්ලංඝණය කිරිම හා සේවා ස්ථානවලින් පැන යෑම වැනි කරුණු හේතුවෙන් කුවේටයේ පවතින නීතිරීතිවලට අනුකූලව විමර්ශන සිදු කිරීමෙන් පසු පිටත්වීමේ බලපත්‍ර ලැබෙන බවත්, එතෙක් එරටින් පිටත්ව යාමට නොහැකි බවයි. එරට පවතින නීතිරීතිවලට අනුව කටයුතු කිරීමට සියලු ශ්‍රි ලාංකිකයින්ට සිදුවන බවත්, උද්ඝෝෂණවල නිරත වීම මගින් කිසිඳු සහනයක් නොලැබෙන බව ද තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
එබැවින් කුවේට් රාජ්‍යයේ සේවය සඳහා පැමිණෙන සියළුම ශ්‍රි ලාංකිකයින් එරට නීති උල්ලංඝණය කිරීමට කිසිඳු අවස්ථාවක කටයුතු නොකරන ලෙස තානාපති කාර්යාලය ඉල්ලා සිටියි.