ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍රට අධි චෝදනා

-සූරියවැව පංචාලී ජයසේකර-
ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මෙරට ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයකු වන සචිත්‍ර සේනානායකට එරෙහිව තරග පාවාදීමේ චෝදනා යටතේ නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ අධිචෝදනාව සැකකරු වෙත බාරදීම හම්බන්තොට මහාධිකරණ විනිසුරු ඩී.පී. මුදුන්කොටුව මහතා ඉදිරියේ 25දා හම්බන්තොට මහාධිකරණය හමුවේදී සිදුකෙරුණි.
සැකකරුට අධිචෝදනා බාරදීමෙන් අනතුරුව සැකකරුගේ ඇඟිලි සළකුණු ලබා ගන්නා ලෙසත් නියම කළ අතර සැකකරු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියම කෙරුණි. ඔවුන් සැකකරුගේ ළඟම ඥාතීන් දෙදෙනකු විය යුතු බවටද නියම කෙරුණි.
2020 වසරේ නොවැම්බර් මස 21 සහ 22 වැනිදා අතර කාලසීමාව තුළදී මුරුසි දිවයිනේදී හා හම්බන්තොටදී පැවැති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රතිඵලයට බලපෑමක් ඇති කළ හැකි අයුරින් එම තරගාවලියට සහභාගි වූ කලම්බු කිංග්ස් කණ්ඩායම සඳහා තෝරාගෙන තිබූ තරිඳු රත්නායකට තරග පාවාදීම සඳහා වෙනත් පාර්ශ්වයක් විසින් ඉදිරිපත් කළ යෝජනාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයට දැනුම් නොදෙන ලෙස ඔහුගෙන් අයැද සිටීම ඔහුව පෙළඹවීම සහ ඊට අවශ්‍ය අදාළ උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ සචිත්‍ර සේනානායකට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා එල්ල කර තිබේ.
ඒ අනුව 2019 අංක 24 දරණ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ 5 (ඇ) වගන්තිය උල්ලංඝණය කිරීමෙන් ‘ක්‍රීඩාවල දූෂණය’ යන වරද සිදුකළ බැවින් එකී පනතේ 09 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවට අධිචෝදනාවේ දක්වා තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව එම ඒකකයේ උපදෙස් මත මෙරට ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විමර්ශන අංශය විසින් සචිත්‍ර සේනානායක අත්අඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවැති මූලික නඩු විභාගයේදී එම සිද්ධියට අදාළව ලැබුණු වෝහාරික සාක්ෂි සහ අනෙකුත් සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේ සචිත්‍ර සේනානායකට එරෙහිව හම්බන්තොට මහාධිකරණය හමුවේ මෙම අධිචෝදනා ගොනු කිරීම සිදුකර තිබුණි. ඒ අනුව සැකකාර ක්‍රීඩක සචිත්‍ර සේනානායක අධිකරණය හමුවේ පෙනී සිටි අතර එහිදී ඔහු වෙනුවෙන් නීතීඥ අජිත් පතිරණ මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ අතර, නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ අකිලා දල්පදාදු මහත්මිය අධිකරණයේ පෙනී සිටියේය. නඩු විභාගය යළිත් 2025-11-27 දින කැඳවීමට නියමිතය.
ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මෙරට ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයකුට එරෙහිව තරග පාවාදීමේ චෝදනා යටතේ අධිකරණය හමුවේ ඉතිහාසයේ නඩු පැවරුණු ප්‍රථම අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි.