දියවඩන නිළමේ ධුර කාලය වසර 10කට සීමා කරන්න

දියවඩන නිළමේ ධුර කාලය වසර 10කට සීමා කරන්න

(මහනුවර – එස්.කේ. සමරනායක)
තමන් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ධුරයට ඉදිරිපත් වූයේ මහා සංඝරත්නය තමන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව බවද, මෙම ධුරය සඳහා තමන් පත්වුවහොත් මෙරට භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් තම පෞද්ගලික මුදලින් සහ ජාත්‍යන්තරයේ තමන් දන්නා හඳුනන දානපතියන්ගේ සහාය ලබාගෙන භික්ෂු රෝහලක් ස්ථාපිත කරන බව මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ධුර අපේක්ෂක ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරික රොෂාන් පස්සර මුදලිගේ මහතා මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රොෂාන් පස්සර මුදලිගේ මහතා මෙසේද කීය.
මේ උත්තරීතර තනතුරට අගෞරව වන අයුරින් සිදු කරන යම් යම් ප්‍රකාශ මම අනුමත කරන්නේ නැහැ. ශ්‍රී දළදා වහන්සේ, අපේ පමණක් නොව ලෝක බෞද්ධ ජනතාවගේම මුදුන් මල් කඩයි.
අපි මේ සම්බුද්ධ ශාසනයේ දියුණුවට වැඩ කරන්න හැකි බෞද්ධ කේන්ද්‍රිය මූලස්ථානය ලෙස හඳුන්වන දළදා මාළිගාවේ මෙම තනතුරට මා පත් වුවහොත් මල්වතු අස්ගිරි මහා නාහිමි දෙපළගේ අවවාද අනුශාසනා මතයි කටයුතු කරන්නේ. මේ තනතුර ඔස්සේ අපේ දිළිඳු බෞද්ධ දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා ශිෂ්‍යත්ව අරමුදලක් ඇති කිරීමටත්, අපේ ශාසනයේ උන්නතිය සඳහා සාමණේර භික්ෂූන් වහන්සේලාට වැඩිදුර ධර්ම අධ්‍යාපනය ලබාදීම සඳහා භික්ෂු ශිෂ්‍යත්ව අරමුදලක් ආරම්භ කිරීමටත් මම පියවර ගනු ලබනවා.
හිටපු දියවඩන නිළමේතුමාත් දළදා මාලිගාවේ දියුණුවට විශාල වැඩ කොටසක් කර තිබෙනවා. එතුමා බොහෝ දෙනකුට උදව් උපකාර කරල තිබෙනවා.ඒ ගැන මට දැන ගන්න ලැබුණා.
මේ ධුරයේ කාලසීමාව වසර දහයකට සීමා කරනවා නම් වඩාත් සුදුසුයි. මා හට ජාත්‍යන්තර සබඳතා විශාල වශයෙන් තිබෙනවා එම නිසා ඒ මාර්ගයෙන් අපේ රටේ බෞද්ධ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපනික, සමාජයීය, සංස්කෘතික ,හාදහම් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තමන්ට බොහෝ උපකාරී විය හැකි බවද රොෂාන් පස්සර මුදලි මහතා මෙහිදී කීය.

Share This