තංගල්ලේ කුඩු-අයිස් ජාවාරමට සම්බන්ධ 7ක් අත්අඩංගුවට

-සමන් ගමගේ-
තංගල්ල ප්‍රදේශයේදී රුපියල් මිලියන නවදහසකට අධික අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සහ ගිනි අවි සඟවා තිබියදී සොයාගත් ලොරි රථ තුනේ හිමිකරුවන් තිදෙනාම අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය සඳහන් කරයි.
එම එක් ලොරි රථයක හිමිකරු 43න් හැවිරිදි රත්මලාන ශ්‍රී ධර්මාරාම පාර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකොළක්ද සමඟින් ඔහුව අත්අඩංගුවට ගෙන  (22දා) දහවල් ගල්කිස්ස පොලිසියට භාර දී තිබිණි.
එම සැකකරු ගල්කිස්ස පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන සඳුදා (29දා) දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දී ඇත.
අනෙක් ලොරි රථ දෙකේ හිමිකරුවන් ඇල්පිටිය සහ මීටියාගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර එම පොලිස් ස්ථානවල විශේෂ පොලිස් කණ්ඩායම් මගින් ඔවුන දෙදෙනාද අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන්ගෙන්ද රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශන් කිරීමට නියමිතය. මේ අතර තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ නිවෙසක් තුළ මියගිය පුද්ගලයන් දෙදෙනා සමඟ සිටිමින් හදිසියේ අසනීප වී රෝහලගත කිරීමෙන් පසුව මියගිය පුද්ගලයාගේ පුතුන් දෙදෙනාද පෙරේදා තංගල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
ඒ අනුව මේ වන විට එම සිද්ධීය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් ගණන හත්දෙනෙකි. මියගිය තිදෙනා අතරින් දෙදෙනකු කවිඳු කල්හාර (21) සහ ධනුක ලක්‍ෂාන් (24) ලෙසින් හඳුනාගෙන ඇත. රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත්තේ තුසිත වෙනුර කුමාර නමැති තංගල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු පොලිසි භාරයට ගත් කුඩා ලොරි රථයේ රියැදුරුය.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ මහ මොළකරුවන් වන්නේ දැනට විදේශයකට පැන ගොස් සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාලයන් දෙදෙනකු වන විදාන පතිරණගේ නුවන් දර්ශන හෙවත් කළු සාගර සහ උණාකූරුවේ ශාන්ත නමැත්තන් බවටද පොලිසිය හඳුනගෙන තිබේ.
මොවුන් දෙදෙනා අතරින් කළු සාගර යනු මෙරට සිටියදී මිනිස් ඝාතන ගණනාවක් මෙන්ම මහා පරිමාණ කොල්ල කෑම් රාශියක් සිදු කර විදේශයකට පලා ගිය දරුණු අපරාධකරුවකු බවද පොලිසිය පවසයි.
උණාකූරුවේ ශාන්ත සහ කළු සාගර යනු මාකඳුරේ මදුෂ්ටත් පෙර සිට මෙරට තුළ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පාතාල අපරාධකරුවන් දෙදෙනකු බවටද පොලිසිය කරුණු හෙළි කරගෙන තිබේ.
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවෙසේ සිටියදී මියගිය තිදෙනා මෙම පාතාලයන් දෙදෙනාගේ ගෝලයන් වන අතර උණාකූරුවේ ශාන්ත සහ කළු සාගර එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමේ සාක්‍ෂි හා තොරතුරු වසන් කිරීම සඳහා වස දී මොවුන් තිදෙනා මරා දමන්නට ඇතැයිද පොලිසිය සැකකරයි.
නිවෙස තුළ අභිරහස් ලෙස මියගිය තිදෙනා සිද්ධියට පෙරදින රාත්‍රියේ මත් පැන් සාදයක් පවත්වා ඇති අතර එහිදී ඔවුන් තිදෙනාට වස දීම සිදු වන්නට ඇතැයි සැකකරන බවද විමර්ශනවලට සම්බන්ධ නිලධාරියෙක් පැවැසීය.
උණාකූරුවේ ශාන්ත සහ කළු සාගර මීට පෙරද සාක්‍ෂි සහ තොරතුරු වසන් කිරීම සඳහා මිනිස් ඝාතන සිදු කර තිබෙන බවටද ඊයේ (23දා) වන විට පොලිසියට තොරතුරු ලැබී තිබිණි.
මෙම ජාවාරමේදී ජාවාරම්කරුවන්ට දකුණේ දේශපාලනඥයකුගේ සහාය හිමිවී තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කරයි.
තංගල්ල පොලිසිය හා තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share This