අපට හිමිවිය යුතු ලක්ෂ 50ක් දිනපතා පිට රටවල් දෙකකට

(සමන් ගමගේ)
ශ්රී ලංකාවට අයත් මුහුදු සීමාව ඔස්සේ දෛනිකව විදේශීය නෞකා තුන්සියයක් පමණ ගමන් කරනු ලැබුවද ඒවායින් මෙරටට හිමිවිය යුතු ඩොලර් ආදායම අදටත් ලබා ගන්නේ බි්රතාන්ය සමාගමක් විසින් බව ක්ෂෙත්රය පිළිබඳ තතුදත් විද්වත්හු පවසති.
නෞකා ගමන් කිරීමේදී එම ගමන් මාර්ග දැක්වෙන මුහුදු සිතියම්වල හිමිකාරිත්වය බි්රතාන්ය සමාගමකට අයත් වීම මෙයට හේතු වී ඇත. එවැනි මුහුදු සිතියම් දහහතක් මේ වන විට ශ්රී ලංකා මුහුදු සීමාව සම්බන්ධයෙන් සකස් වී තිබුණද එම සිතියම්වල අයිතිය තිබෙන්නේ අදාළ සමාගමට බවද පැවසේ.
මේ අන්දමටම ශ්රී ලංකා ගුවන් සීමාව ඔස්සේ ගමන් ගන්නා ගුවන් යානාවලින් හිමිවිය යුතු ආදායමද මේ වන විට ලබා ගනිමින් සිටින්නේ ඉන්දියාව විසින් බව ඔවුහු සඳහන් කරති.
ශ්රී ලංකාව සතුව ගුවන් යානා ගමන් පාලනය සඳහා ඉහළ තාක්ෂණයෙන් යුතු රේඩාර් පද්ධතියක් නොමැති වීම හේතුවෙන් ඉන්දියාව මෙම ධනස්කන්ධය ඔවුන් සතු කර ගැනීමට හේතුව වී තිබේ.
මෙහිදී දෛනිකව ශ්රී ලංකාවට අහිමි වන ආදායම ඩොලර් පහළොස් දහසක් හෙවත් රුපියල් ලක්ෂ පනහක් පමණ වේ.
අදාළ බි්රතාන්ය සමාගම මේ අන්දමට ශ්රී ලංකා මුහුදු සීමාව ඔස්සේ ගමන් කරන නෞකාවලින් මුදල් ලබා ගැනීම සිදු කරනුයේ කාලයක සිට මෙරට තුළ අදාළ නෞකා ගමන් මඟ සහිත සිතියම් සකස් කිරීමේ ප්රාමාණික දැනුම සහිත ජල ශාස්ත්රඥයන් නොසිටීම බව පෙන්වා දෙමිනි.
එහෙත් මේ වන විට ශ්රී ලංකා නාවික හමුදාවෙන් විශේෂඥ ජල ශාස්ත්රඥයකු සහ විෂය දැනුමැති නිලධාරීහු පිරිසක් බිහිවී සිටින අතර ඔවුන් එක්ව අදාළ ඩොලර් ආදායම ශ්රී ලංකාවට හිමි වන පරිදි මෙම ගැටලුව විසඳීම සඳහා මෙරට මුහුදු සීමාවේ නෞකා ගමන් මාර්ගය සිතියම් ගත කර ඇතත් මෙරට එක්තරා ආයතනයක පිරිසකට අදාළ බි්රතාන්ය සමාගම විසින් මාසිකව ලබා දෙන ඩොලර් සන්තෝසමක් නිසා එම උත්සාහයද වැළකී ගොස් තිබේ.
ගුවන් සීමාවෙන් රටට හිමි විය යුතු ඩොලර් ආදායම ලබා ගැනීම සඳහා නවීන රේඩාර් පද්ධතියක් ලබා ගැනීම කෙරෙහි මේ දක්වා කිසිදු රජයක අවධානය යොමුවී නැතැයිද’සඳහන්’වේ.