ජනපතිවරණයේ දාම් හා කැරම් බෝඩ් නඩුව යලි ඔක්තෝබර් 10ට කල් යයි

ජනපතිවරණයේ දාම් හා කැරම් බෝඩ් නඩුව යලි ඔක්තෝබර් 10ට කල් යයි

-අකිලා නදීෂානි බණ්ඩාර-
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලු‍ත්ගමගේ, හිටපු සතොස සභාපති හිටපු කර්මාන්ත ඇමැති නලින් රුවන්ජීව ප්‍රනාන්දු, හිටපු සතොස සභාපතිවරයෙක් සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්දසිරි මල්ලවාරච්චි යන අයවලු‍න්ට එරෙහි නීතිපතිවරයා ගොනු කර ඇති නඩුව ලබන ඔක්තෝබර් 10 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා 04දා නියෝග කළේය.
2015 වසරේ පැවැති ජනාධිපතිවරණ සමයේදී ක්‍රීඩා අමාත්‍යංශයේ රුපියල් මිලියන 39කට මුදල් වැය කර කැරම් බෝඩ් දහසක් සහ දාම් බෝඩ් දහසක් මිලදී ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා කාර්යාලවලට ක්‍රීඩා උපකරණ ලබා දී ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර ඇත. නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තියේ නීතිඥවරු සඳහන් කළේ මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට නොහැකි බවයි. එහිදී විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ මුලික විරෝධතා සම්බන්ධයෙන් වාචික දේශන යළි ඔක්තෝබර් 10 වැනිදා ඉදිරිපත් කරන ලෙස එහිදී මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සතොස සභාපතිවරයෙක් සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්දසිරි මල්ලවාරච්චි යන අය විවෘත අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර නීතිඥවරු සඳහන් කළේ ඔහු දැඩි අසනීපයෙන් පසුවන බවත් අධිකරණ භුමියේ පිට නවතා ඇති වාහනයේ සිටින බවත්ය. ඒ අනුව නීතිඥවරු ඒ සම්බන්ධයෙන් වන වෛද්‍ය වාර්තා ද අධිකරණයට ඉදිරිපත් කළහ. එම විත්තිකරු නොමැතිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 241 වගන්තිය යටතේ නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යෑමට අවසර දෙන ලෙස එහිදී නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. අධිකරණය හමුවේ පෙනී සිටිමට නොහැකි බවට නිසි වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර එම ඉල්ලීම කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා අවවාද කළේය. එහිදී නලින් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නිතිඥ සංජය රාජරත්නම් මහතා ඉල්ලා සිටියේය නඩු විභාග පැවැත්වෙන දිනවල පමණක් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙසයි. එහිදී මහාධිකරණ විනිසුරුවරයා එකී ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ නඩු විධිවිධාන සංග්‍රහය අනුව සෑම විත්තිකරුවකුම නඩුව කැඳවන දිනවලදී අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලු‍ත්ගමගේ, හිටපු සතොස සභාපති හිටපු කර්මාන්ත ඇමැති නලින් රුවන්ජීව ප්‍රනාන්දු, යන අය බන්ධනාගාරය මගින් ඉදිරිපත් කළ අතර ඔවුන් විවෘත අධිකරණයේ’පෙනී’සිටියහ.

Share This