කෙහෙල්බද්දර පත්මේගේ තොරතුරු අනුව අයිස් නිෂ්පාදන කම්හලක් සොයා පොලිසිය නුවරඑළියට

කෙහෙල්බද්දර පත්මේගේ තොරතුරු අනුව අයිස් නිෂ්පාදන කම්හලක් සොයා පොලිසිය නුවරඑළියට

(සමන් ගමගේ)
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේගෙන් වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුට අයත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් පිළිබඳවද තොරතුරු අනාවරණය කළ බව පොලිසිය සඳහන් කරයි.
කෙහෙල්බද්දර පද්මේ හෙළි කර ඇත්තේ අදාළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාව නුවරඑළියේ පිහිටා තිබෙන බවය. ඒ අනුව එම ස්ථානය සොයා ගැනීම සඳහා (03දා) පොලිසිය විශේෂ විමර්ශනයක් අරඹා තිබිණි.
ඉන්දුනීසියාවේ සිටි කෙහෙල්බද්දර පද්මේ සමඟ මෙරටට ගෙන එනු ලැබූ බැකෝ සමන්ගෙන් අනාවරණය වූ තොරතුරු අනුව (03දා) තවත් ප්‍රබල සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය කටයුතු කර තිබිණි.
එසේ අත්අඩංගුවට ගෙන තිබුණේ බන්ධනාගාරගතව සිටින මිදිගම නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා අධිකරණය අසළදී මාධ්‍යවේදියකු ලෙස වෙස්වලාගෙන පැමිණ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට අනුව වීඩියෝ කැමරාවකට පිස්තෝලයක් ඇටවූ පුද්ගලයාය.
ගම්පහ උඩුගම්පොළ දොඹවල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි සැකකරු පෑස්සුම් ශිල්පියකු ලෙසින් කටයුතු කරන අයකු වන බවද පොලිසිය සඳහන් කරයි.
වෙඩි තැබීමේදී වීඩියෝ කැමරාවේ ලෙන්ස් එක කඩාගෙන වෙඩි උණ්ඩය ඉලක්කයට ගමන් කරන ලෙසින් කැමරාව තුළට ගිනි අවිය රිංගවා සැකසීම සිදුකර ඇත්තේ අත්අඩංගුව ගත් සැකකරු වන බවද පොලිසිය පවසයි.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් බැකෝ සමන්ගෙන් වැඩිදුරටත් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු විසින් මෙම වෑද්දුම් ශිල්පියා පිළිබඳ තොරතුරු අනාවරණය කළ බවද විමර්ශන නිලධාරියෙක් පැවසීය.
පුළුස්සා දමා තිබූ එම කැමරාව සහ රිවෝල්වර අවියත් සමඟ පුද්ගලයකු මීට පෙර අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරනු ලැබුණි.

Share This