නොසිතු ලෙස එළවළු මිල පහළ යයි

නොසිතු ලෙස එළවළු මිල පහළ යයි

එළවළු තොග මිළ ගණන් අද (26) පහළ ගියේය. අමු මිරිස්, බෝංච්, කැරට් ඇතුළු ඒළවළු ගණනාවක තොග මිළ සියයට 30න් පමණ පහළ ගිය බව තොග වෙළෙන්දෝ පැවැසූහ. සුළු ගොවීන්ගේ වගාවේ අස්වනු නෙළීම ආරම්භවීමත් සමග තොග සැපයුම ඉහළ ගොස් තිබේ.

ජාතික එළවළු වගා කරන්නන්ගේ ඒකමුතුවේ සභාපති නිමල් හේවා විතාරණ මහතා පැවැසුවේ ඉදිරි දින කීපයේදී ඒළවළු තොග සැපයුම තවදුරටත් ඉහළ යනු ඇති බවත් තොග මිළ තවදුරටත් අඩුවී සිල්ලර වෙළදපලේ මිළද පහළ යනු ඇති බවයි.

රුපියල් 1000 ක් දක්වා ඉහළ තොග මිළක් පැවැති අමු මිරිස් කිලෝවක තොග මිළ ඊයේ රුපියල් 475-500ක් දක්වා පහළ ගිය බවත් මිරිස් වගා කළ ගොවීන් දැඩි අපහසුතාවයට පත්වූ බව පැවැසූ සභාපතිවරයා කැකිරි සහ පිපිඤ්ඤා කිලෝවක තොග මිළ රුපියල් 25/-ත් 50/-ක් දක්වා පහළ ගිය බව පැවැසීය.

හේවා විතාරණ මහතා තවදුරටත් පැවැසුවේ තක්කාලි 120ක්, වම්බටු 300ක්, මාළු මිරිස් 550ක් ඇතුළු උඩරට ඒළවළු තොග මිළ ගණන්ද පහළ ගොස් පහතරට යාපනය, ඌව සහ වයඹ කලාපවලින් සැපයූ ඒළවළු තොග මිළ ගණන්ද පහළ ගිය බවයි.

දඹුල්ල, තඹුත්තේගම, කැප්පෙටිපොල, කටුගස්තොට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවලට අද (26) දිනයේදී පමණක් ඒළවළු කිලෝ ලක්ෂ 12ට ආසන්න ප්‍රමාණයක් ලැබුණ බව පැවැසූ හෙතෙම ඉදිරි සති කීපයේදී ඒළවළු තොග සැපයුම තවදුරටත් ඉහළ යනු ඇති බව පැවැසීය.

(නාලන්දේ සුනිල් ආර්.පතිරණ)

Share This