මහින්දානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

වසර 20 ක සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත භාරදී ඇත.
ඒ අනුව 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14,000 සහ දාම් ලෑලි 11,000 ක් නීතියට පටහැනි ලෙස මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින්, රජයට රුපියල් මිලියන 53කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවේ වැරදිකරු කරමින් නිකුත් කළ තීන්දුවට එරෙහිව ඔහු මෙම අභියාචනය ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වේ.
අල්ලස් කොමිසම විසින් ගොනුකළ ඉහත චෝදනාවලට වරදකරු කෙරුණු තමන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් බරපතළ වැඩ සහිත වසර විස්සක සිර දඬුවම් හා දඩ මුදල් නියම කළ බවත්, ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඇතැම් කරුණු වැරදි ලෙස අර්ථකරණය කරමින් මෙම නඩු තීන්දුව ලබාදී ඇති බවයි ඔහු පෙන්වා දෙයි.
එසේම විත්තිය විසින් ඉදිරිපත් කළ ඇතැම් කාරණා නඩු තීන්දුව දීමේදී මහාධිකරණ විනිසුරු මඩුල්ල සැලකිල්ලට ගෙන නොමැති බවත්, තමන්ට එරෙහිව පැනවූ එම දඬුවම නීතියට පටහැනි බවත්, අදාල තීන්දුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි ඔහු සිය අභියාචනය මඟින් වැඩිදුරටත් ඉල්ලා සිටියි.