බලහත්කාරයෙන් අතුරුදන් කළ තම පුතා සොයා දෙන ලෙස ඉල්ලා මවක් ජනපතිට ලිපියක් ලියයි

වසර 17කට ආසන්න කාලයක් බලහත්කාරයෙන් අතුරුදන්කර සිටින තම බාල පුතා සොයා දෙන ලෙසට ඉල්ලා බාලේන්ද්‍රන් ජෙයකුමාරි නමැති මව ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය වෙත අද (26) ලිපියක් භාරදී තිබේ. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අදාළ ලිපිය භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්. අදාළ ලිපියෙන් ඇය ඉල්ලා ඇත්තේ, තම පුතා සොයාගැනීම සඳහා අවශ්‍ය සහය ලබා දෙන ලෙසය.
2008 වසරේ දෙසැම්බර් 18 වැනි දින රැකියාවක් සොයා නිවසින් පිටව ගිය බාලේන්ද්‍රන් මහින්දන් රැකියාවක් සොයා නිවසින් පිටත්ව ගොස් ඇත. කෙසේ වෙතත් ඔහු නිවසට පැමිණියේ හෝ එතැන් පටන් තමන් ඔහුව නුදුටු බවත් සිය පුතා සමඟ කිසිදු ආකාරයේ සම්බන්ධතාවක් නොතිබු බවත් ඇය පැවසීය. යුද්ධයේ අවසන් අදියරේදී තමන් ඇතුළු පිරිස අවතැන් වූ විට සිය පුතා මව සොයමින් සිටින බවට ඇතැම් පිරිස් ප්‍රකාශ කළ බව ද බාලේන්ද්‍රන් ජෙයකුමාරි ප්‍රකාශ කළාය. එලෙස පැවසූ පුද්ගලයන් අතරින් දෙදෙනෙකු යුද්ධයේ අවසන් අදියරේදී ඝාතනයට ලකත් වූ අතර සෙසු පුද්ගලයන්ව තමන්ට සම්බන්ධ කරගැනීමට නොහැකි වූ බව ද ඇය පෙන්වා දෙයි. සිය පුතා ඇතුළුව තවත් තිදෙනෙකු හමුදාව රැගෙන යනු පුද්ගලයෙක් දැක ඇති බව තමන්ට පැවසූ බව ද අදාළ ලිපියෙහි සඳහන් කර ඇත.
බාලේන්ද්‍රන් ජෙයකුමාරි සිය පුත්‍රයා අධිකරණ අමාත්‍යංශය මගින් පවත්වාගෙන ගිය අඹේපුස්ස පුනරුත්ථාන කඳවුරේ සිටින තරුණ තරුණියන්ගේ ඡායාරූපයක් 2009 වසරේ ජුනි මස 25 වැනිදා The Irish Times පුවත්පෙතහි පළ කර තිබිණි. එහි තම පුත්‍රයා වන බාලේන්ද්‍රන් මහින්දන් (1993 ජුනි 27) සිටින බවට බාලේන්ද්‍රන් ජෙයකුමාරි හඳුනාගත්තාය. එමෙන්ම 2012 වසරේදී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ප්‍රකාශයට පත් කළ ග්‍රන්ථයක ඇතුළත් කර තිබූ ඡායාරූපයක සිය පුත්‍රයා සිටින අතර එය ලබාගෙන තිබුණේ ‘ලංකා පුවත්’ වෙබ් අඩවියෙන්ය.
ඉන් අනතුරුව සිය පුත්‍රයා සෙවීම කාර්යය අඛණ්ඩව සිදු කළ ඇය 2009 වසරේ සිට අඛණ්ඩව මේ දක්වා සටන් කරමින් සිටියි. ඇය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කළ ලිපියෙහි මෙසේ දක්වා ඇත.
“මගේ පුතා අතුරුදන් වූ දා සිට ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත් වූ පස්වැනි ජනාධිපතිවරයා ඔබයි. දැන් ජනාධිපතිවරයා ලෙස ඔබතුමා, සාමාන්‍ය ජනතාවගේ අරගලය තේරුම් ගත් නායකයකු ලෙස අපගේ හැඬීම්වලට සහ කඳුළුවලට අවධානය යොමු කරනු ඇතැයි අපි විශ්වාස කරන අතර, ඔබ අපගේ දුක්ගැනවිලිවලට සවන් දෙනු ඇති අපි බලාපොරොත්තු වෙමු.”
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලිකව හමුවී තමන්ට සහ තම දියණියට සිය පුතා සොයාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන ලෙසට බාලේන්ද්‍රන් ජෙයකුමාරි ඉල්ලා සිටියාය. එමෙන්ම 2009 වසරේදී අධිකරණ අමාත්‍යංශය මගින් පවත්වාගෙන ගිය අඹේපුස්ස පුනරුත්ථාපන කඳවුර පිළිබඳ තොරතුරු ලබා ගැනීමට සහය වන ලෙසත්, පොලිසියට සහ විමර්ශනය සඳහා ජනාධිපති කොමිසමට සිදු කරන ලද පැමිණිලි සහ සන්නිවේදන සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු තමන්ට ලබා දෙන ලෙසත් ඇය ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.