දේශබන්දු ගොනු කළ රිට් පෙත්සම ප්‍රතික්ෂේප කරයි

දේශබන්දු ගොනු කළ රිට් පෙත්සම ප්‍රතික්ෂේප කරයි

තමා අත්අඩංගුවට ගැනීමේ නියෝගය අත්හිටුවන අතුරු තහනමක් ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනුකළ රීට් පෙත්සම අභියාචනාධිකරණය විභාගයට ගැනීමකින් තොරව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ, අදාළ පෙත්සම අද (17) අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

2023 දෙසැම්බර් 31 වැනිදා මාතර පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය පෙබරවාරී මස 28 වැනිදා නියෝගයක් නිකුත් කළා.

එම නියෝගය අත්හිටුවන අතුරු තහනමක් ඉල්ලා පොලිස්පතිවරයා අභියාචනාධිකරණය හමුවේ එම රීට් පෙත්සම ගොනුකළේ, පසුගිය 10 වැනිදායි.

අදාළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියෝග කෙරුණා.

Share This