සෙලෙන්ස්කිට වැරදුණේ කොතනද?

මේවන විට යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිට සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජාත්‍යන්තරයේ වැඩි අවධානයක් හිමිව ඇත. ඒ පසුගිය දිනවල යුක්රේන-රුසියානු යුද්ධය අලලා ඔවුන් අතර ඇතිවුණු උණුසුම් කතාබස් හේතුවෙනි.
ට්‍රම්ප් ජනාධිපති ධූරයට පත්වීමට පෙර සිටම ඔහුගේ අභිප්‍රාය වූයේ යුක්රේන-රුසියානු යුද්ධය අවසන් කිරීමයි. ඔහු ජනාධිපති ධූරයට තේරීපත් වුණු වහාම ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු පිළිබඳව අවධානය යොමු කරන්නට විය. පෙබරවාරි 18 වන දා සෞදි අරාබියේ රියාද්හි දී යුද්ධය අවසන් කිරීම ගැන ඇමෙරිකා එක්සත් ජනපදය හා රුසියාව අතර සාකච්ඡා ආරම්භ කළේ ඒ අනුවය. නමුත් මෙම සාකච්ඡාවට පැමිණිය යුතුවම තිබූ එක් පාර්ශවයක් පැමිණ නොතිබුණි. ඒ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිය. ට්‍රම්ප් ඔහුට යුද්ධය අවසන් කිරීම ගැන පවත්වන ලද සාකච්ඡාවට ආරාධනා කර නොතිබුණි. මෙහිදී සෙලෙන්ස්කි කියා සිටියේ ට්‍රම්ප් යුක්රේනය පිළිබඳව තීන්දු තීරණ ගන්නට සැරසෙන්නේ යුක්රේනයේ සහභාගිත්වය නොමැතිව කියාය. කෙසේ වෙතත් යුක්රේනයට හොරා රියාද්හි පවත්වන ලද සාකච්ඡාව සෙලෙන්ස්කි සහ ට්‍රම්ප් අතර යම් විරසකයකට මුලපුරන්නට හේතු විය.
රියාද්හි සාකච්ඡාව අතරතුර ඒ සඳහා ආරාධනා නොලද සෙලෙන්ස්කිගෙන් ට්‍රම්ප්ට දිගින් දිගටම එල්ල වූයේ ප්‍රහාරාත්මක වදන්ය. සාකච්ඡාවෙන් පසුව ට්‍රම්ප් සෙලෙන්ස්කි පිළිබඳව ඔහුගේ අදහස් ජාත්‍යන්තර වේදිකා මත දිගහරින්නට විය. ට්‍රම්ප්ට අනුව යුක්රේන – රුසියානු යුද්ධය යනු ඇති වන්නට නොතිබුණු යුද්ධයකි. එයට මුලපිරුවේ යුක්රේනය බව ට්‍රම්ප් කියා සිටියේ සෙලෙන්ස්කිව ඒකාධිපතියෙක් ලෙස හඳුන්වමිනි. නමුත් 2022 පෙබරවාරි 24 වන දින රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කරමින් යුද්ධය සඳහා පළමු පියවර තැබුවේ රුසියාව බව ට්‍රම්ප්ට අමතක වන්නට හේතුවක් නැත. දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ ඇති වූ විශාලතම සහ මාරාන්තිකම ගැටුම බවට මෙම ආක්‍රමණය පත් වූයේ ලක්ෂ සංඛ්‍යාත හමුදා ජීවිත සහ දස දහස් සංඛ්‍යාත යුක්රේන සිවිල් ජීවිතවලට හානි කරමිනි.
මේ අතර ට්‍රම්ප් ඇස ගසන්නේ යුක්රේනයේ දුර්ලභ ඛනිජ ලෝහ වෙතය. ඇමෙරිකානු කම්කරුවන් යුක්රේනය තුළ සිටිමින් එහි ඛනිජ ලෝහ කැණීම් සිදු කිරීම යුක්රේනයට ස්වයංක්‍රීය ආරක්ෂාවක් සපයනු ඇතැයි ඔහු පවසයි. මෙහිදී සෙලෙන්ස්කිට අවශ්‍ය වන්නේ ට්‍රම්ප් හමුවී මේ ගැන නිල වශයෙන් සාකච්ඡා කිරීමටය. ඒ අනුව යුක්රේනයේ ඛනිජ සම්පත් බෙදාගැනීම පිළිබඳ ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පෙබරවාරි 28 වන දා සෙලෙන්ස්කි වොෂිංටනයට පැමිණෙයි. ඒ අනාගතයේදී එක්සත් ජනපදය සිය රටේ සැබෑ කොටස්කරුවෙකු කිරීමට පළමු පියවර තැබීමටය. තවද මෙම හමුවේදී එක්සත් ජනපදයට යුක්රේනයේ දුර්ලභ ඛනිජ සම්පත් සඳහා ප්‍රවේශ වීමට අවසර දෙන ගිවිසුම පිළිබඳව පමණක් නොව යුක්රේනයේ යුද්ධය සහ එක්සත් ජනපද මිලිටරි සහ මූල්‍ය ආධාර ගැනද සාකච්ඡා කිරීමට නියමිතව තිබුණි.
නමුත් එම ගමන සෙලෙන්ස්කි බලාපොරොත්තු වූ පරිදි සාර්ථක ලෙස අවසන් නොවීය. ඒ ට්‍රම්ප්ගේ ඇතැම් ඉල්ලීම් සෙලෙන්ස්කිගේ ආවේගය ඉස්මතු කරන්නට වූ බැවිණි. සාකච්ඡාව අතරතුර යුද්ධය අවසන් කිරීමට රුසියාවට යම් ඉඩක් ලබා දෙන්නැයි ට්‍රම්ප් යුක්රේනයෙන් ඉල්ලා සිටියේය. එහිදී සෙලෙන්ස්කි එම යෝජනාව තරයේම ප්‍රතික්ෂේප කළේය. ඔහු කියා සිටියේ එවන් දෙයකට අවස්ථාව සැලසුවහොත් රුසියාව තවත් ශක්තිමත් වනවා සේම යුක්රේනය තව තවත් අනතුරේ වැටෙනු ඇති බවයි. ට්‍රම්ප්ගේ යෝජනාවත් සෙලෙන්ස්කිගේ මෙම පිළිතුරත් එතෙක් සාමකාමීව ආ සාකච්ඡාව තරමක් උණුසුම් කරන්නට සමත් විය. ට්‍රම්ප්ගේ යෝජනාව සෙලෙන්ස්කි එක පයින් ප්‍රතික්ෂේප කිර්‍රිමෙන් නොසතුටට පත් ට්‍රම්ප් සහ උප ජනාධිපති ජේ. ඩී. වෑන්ස් පැවසුවේ එක්සත් ජනපදය යුක්රේනයට බොහෝ මුදල් සාහ ආධාර ලබා දී ඇති බවත් ඔවුන් දැන් ඒ ගැන සතුටට පත් නොවන බවත්ය. ට්‍රම්ප් තවදුරටත් පැවසුවේ යුක්රේනයට ලබා දී ඇති ආධාර මුදල් ගැන සලකා බලන විට සෙලෙන්ස්කි එක්සත් ජනපදයට ස්තූතිවන්ත විය යුතු බවත් නමුත් යුක්රේනයේ කෘතඟ්හතාව ඔවුන්ට ලැබී නැති බවත්ය. නමුත් සෙලෙන්ස්කි ට්රම්ගේ මේ කිසිදු වාග් ප්‍රහාරයකට එකඟ නොවීය.
අවසන එක්සත් ජනපදය හා සම්බන්ධ වීමට බලාපොරොත්තුව සිටි කිසිදු ගිවිසුමක් ගැන සාකච්ඡාවකින් තොරව සෙලෙන්ස්කිට ධවල මන්දිරයෙන් එළියට බැසීමට සිදු විය. ඔහු පිටව යන විට ට්‍රම්ප් සිය සමාජ මාධ්‍යවල සටහන් කර තිබුණේ “ඔබ සාමය සඳහා සූදානම් වූ විට ආපසු එන්න” යනුවෙනි.
සෙලෙන්ස්කිගේ ධවල මන්දිර ගමනේදී සාර්ථක ලෙස ඔහු ඛනිජ සම්පත් සඳහා වන ගිවිසුම ගැන සාකච්ඡා කරගත්තා නම් ට්‍රම්ප් සැබැවින්ම යුක්රේනයේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්නට තිබුණාද? සාර්ථකව නිම කරන්නට ගිය සාකච්ඡාව වාග් ගැටුමක් බවට පර්වර්තනය වී ධවල මන්දිරයෙන් පිටව යාමට තරම් සෙලෙන්ස්කිට සැබැවින්ම වැරදුණේ කොතනද? යන්න මේවන විට ලැව්ගින්නක් සේ ජාත්‍යන්තර මාධ්‍ය තුළ කතාබහට ලක්වන්නකි.
සෙලෙන්ස්කි ට්‍රම්ප්ට එරෙහිව නැගී සිටීම යුක්රේනයට කොයිතරම් දුරට බලපානු ඇතිදැයි කිව නොහැක. කෙසේ වෙතත් ජාත්‍යන්තරය ඉදිරියේ සෙලෙන්ස්කිගේ ට්‍රම්ප්ට එරෙහි නැගී සිටීම පුටින් ඉදිරියේදී ඔහුගේ පරාජය සලකුණු කරනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරති.
සඳුනි තිලකරත්න