හෙට්ටිපොල ප්‍රදේශයේ වෙඩි වැදී දැරියක් මරුට

හෙට්ටිපොල ප්‍රදේශයේ වෙඩි වැදී දැරියක් මරුට

හෙට්ටිපොල පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේ ඊයේ (27) රාත්‍රියේ සිදු වූ වෙඩි වැදීමකින් දැරියක් මිය ගොස් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.

වයස අවුරුදු 09ක් වූ මරණකාරිය කුලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය සඳහන් කළේ.

ඇය සිය මිත්තණිය සමඟ මඟුලාගම, හෙට්ටිපොල ප්‍රදේශයේ පිහිටි තම නිවසේ රැඳි සිටියදී, ඌරන් දඩයම් කිරීමට පැමිණි පිරිසකගේ ශබ්ද ඇසී එය බැලීමට පිටතට පැමිණ ඇති බව සඳහන්.

එම අවස්ථාවේදී වෙඩි වැදී ඇති බවටයි, මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ.

සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාව ද මේ වනවිට කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා. දැරියගේ මෘතශරීරය කුලියාපිටිය රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති බව සඳහන්.

අපරාධයට සම්බන්ධ බෝර 12 වර්ගයේ ගිනිඅවිය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ප්‍රදේශයෙන් පලා ගොස් ඇති සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හෙට්ටිපොල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව වැඩිදුරටත් සඳහන්.

Share This