සම්බුද්ධ ශාසනය විනාශ කිරීමට සේම ඊට ලබා දී ඇති මුල් තැන අහෝසි කරන්න උත්සාහ කරන ඕනෑම බලවේගයක් පරාජය කරන්න අපි සූදානම් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

සජිත් ප්‍රේමදාස කියනවා, බුදුදහමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දීලා තියෙන මුල්තැන කිසිම බලවේගයකට අයින් කරන්න දෙන්නේ නැහැ කියලා. ඒ වගේම සම්බුද්ධ ශාසනයට එල්ල වෙන ඕනෑම අභියෝගයක් පරාජය කරන්න සමගි ජන බලවේගය සූදානම් කියලත් ඔහු සඳහන් කළා.

මේ අදහස් ඔහු පළ කළේ වෙල්ලස්ස බින්තැන්න නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ සංඝකීර්ති ශ්‍රී සරණංකර දේවරක්ඛිත මහඔය ජිනරතන ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පැවැති උත්සවයකදී.

සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියෙන් බුදුදහමට ඉහළ ස්ථානයක් ලබාදී තිබෙන බව අමතක කරන්න බැහැ කියලා. ඒත් එක්කම අනෙකුත් ආගම්වලටත් නිසි ආරක්ෂාව සහ ගෞරවය ලැබෙනවා කියලත් ඔහු පැවසුවා.

ඔහු තවදුරටත් මතක් කළේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ බුද්ධ ශාසන අරමුදල ආරම්භ කරමින් බුදුදහම ආරක්ෂා කරන්න වැඩ කළ බවයි.

“ශ්‍රී ලංකාව නිරාගමික රටක් කරන්න කාටවත් අයිතියක් නැහැ” කියලත් විපක්ෂ නායකවරයා පැවසුවා. ජනතාවට තමන්ගේ ආගම අදහන්න තියෙන අයිතිය වෙනස් කරන්න හෝ අහිමි කරන්න බැහැ කියලා ඔහු අවධාරණය කළා.

ඒ වගේම අද දහම් පාසල් යන දරුවන්ගේ සංඛ්‍යාව අඩුවෙලා තියෙන නිසා දහම් අධ්‍යාපනය නැවත ශක්තිමත් කළ යුතුයි කියලත් ඔහු සඳහන් කළා.

අවසානයේ සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් සම්බුද්ධ ශාසනයට එල්ල වෙන ඕනෑම බලපෑමකට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බවත්, ඒ සමඟම අනෙකුත් ආගම් සහ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කිරීමටත් කැපවන බවයි.

Share This