මහාචාර්ය පූජ්‍ය මහඔයේ ජිනරතන නායක හිමිපාණන් සංඝනායක පදවියෙන් පිදුම් ලබයි
හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් මහාචාර්ය පූජ්‍ය මහඔයේ ජිනරතන නායක හිමිපාණන් වෙල්ලස්ස, බින්තැන්න සහ නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබීම වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් බිබිල ඓතිහාසික පොතුබන්ධන රාජමහා විහාරයේදී පැවැත්වුණා.
මෙම උත්සවය පැවැත්වුණේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක අති පූජ්‍ය දිඹුල්කුඹරේ විමලධම්ම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්. එහිදී අග්‍රාමාත්‍යවරිය විසින් සංඝනායක පදවියට අදාළ සන්නස් පත්‍රය ජිනරතන නායක හිමිපාණන් වෙත පිළිගැන්වුවා.
උත්සවයේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කියා සිටියේ, 1982 වසරේ සිට පැවිදි දිවියට ඇතුළත් වූ ජිනරතන නායක හිමියන් දශක හතරකට වැඩි කාලයක් බුද්ධ ශාසනය සහ සමාජය වෙනුවෙන් විශාල සේවයක් කර ඇති බවයි.
ශ්‍රී සරණංකර සහ ශ්‍රී සද්ධාතිස්ස දහම් පාසල් පවත්වාගෙන යාම, දීඝවාපී මූලික පිරිවෙනේ පරිවේණාධිපති ලෙස කටයුතු කිරීම, දරුවන්ට වාර්ෂිකව අධ්‍යාපන උපකරණ ලබාදීම වැනි වැඩසටහන් ඉතා වටිනා බවත් ඇය සඳහන් කළා.
ඒ වගේම ඓතිහාසික දීඝවාපී මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සහ අනෙකුත් විහාරස්ථාන සංවර්ධනය වෙනුවෙන්ද නායක හිමියන් විශාල මෙහෙවරක් කරන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවා.
අම්පාර රෝහලේ භික්ෂු වාට්ටුවක් ඉදිකිරීම වැනි සමාජ සේවා කටයුතු හරහා නායක හිමියන්ගේ පරාර්ථකාමීත්වය පැහැදිලිව පේන බවත්, වෙල්ලස්ස සහ බින්තැන්න ප්‍රදේශවල ජනතාවගේ ආධ්‍යාත්මික සහ සමාජීය දියුණුව වෙනුවෙන් මෙවැනි නායක ස්වාමීන් වහන්සේලා රටට අත්‍යවශ්‍ය බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.
මෙම අවස්ථාවට සජිත් ප්‍රේමදාස, අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන, ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ විශාල පිරිසක් සහභාගී වී සිටියා.
