ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධූරයට

හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති (DIG) ධූරයට උසස් කළ යුතු බවට පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය ජාතික පොලිස් කොමිෂන් සභාවට නියෝග කර තිබෙනවා.
ශානි අබේසේකර මහතා 2017 සැප්තැම්බර් සිට CID අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ අතර, 2019දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසු ඔහු එම ධූරයෙන් ඉවත් කර ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිගේ සහකාර ලෙස මාරු කර තිබුණා.
එය දේශපාලන පලිගැනීමක් ලෙස විශාල කතාබහකට ලක්වූ අතර, 2020 ජනවාරි මාසයේදී රන්ජන් රාමනායකගේ හඬපට සිද්ධියක් මුල් කරගෙන ශානිගේ වැඩ තහනම් කළා.
ඉන් පසුව 2020 අගෝස්තු මාසයේදී ඔහුව අත්අඩංගුවට ගෙන මාස 10කට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබුණා. පසුව අභියාචනාධිකරණය මඟින් ඔහුට ඇප ලබාදුන් අතර, CIDය, කොළඹ අපරාධ කොට්ඨාශය සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය කළ විමර්ශනවලදී ඔහුට එරෙහි සියලු චෝදනා වලින් නිදහස් වී තිබෙනවා.
ඒ අනුව හිඟ වැටුප්ද ලබාදීමට ජාතික පොලිස් කොමිෂන් සභාව කටයුතු කළා.
කෙසේ වෙතත්, නියමිත කාලයේදී තමන්ට හිමිවිය යුතු නියෝජ්‍ය පොලිස්පති තනතුර ලබා නොදීම සම්බන්ධයෙන් ශානි අබේසේකර මහතා පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරයට අභියාචනයක් ගොනු කර තිබුණා.
එම නඩුව දීර්ඝ කාලයක් විභාග කිරීමෙන් අනතුරුව අද තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, 2020 අගෝස්තු 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාවට නියෝග කර තිබෙනවා.
