රත්නපුර අධිකරණයේ ගැටළු ගැන අධිකරණ ඇමතිගේ අවධානය

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ රත්නපුර අධිකරණ නීතිඥ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ රත්නපුර අධිකරණ සංකීර්ණයේ නීතිඥ පුස්තකාලයේදී පැවැත්වුණා.

මෙහිදී අධිකරණ කටයුතු පවත්වාගෙන යාමේදී ඇතිවන ගැටළු සහ නීතිඥවරුන් තම වෘත්තිය සිදු කිරීමේදී මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. ඒ සඳහා පියවරෙන් පියවර විසඳුම් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, අධිකරණ පද්ධතියේ පවතින ගැටළු නව ගැටළු නොවන අතර, වසර 15කට අධික කාලයක් තිස්සේ පැවති ගැටළු බවයි. වත්මන් රජය බලයට පත්වන විට අමාත්‍යාංශය සහ එයට අයත් ආයතනවල පුරප්පාඩු 6,000කට වැඩි ප්‍රමාණයක් පැවති බවත්, මේ වන විට එයින් 2,000කට අධික බඳවා ගැනීම් සිදු කර ඇති බවත් ඔහු කියා සිටියා.

තවද අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ආරම්භ කර ඇති බවත්, එය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් ලබාදීමට කටයුතු කරන බවත් සඳහන් කළා.

ලඝු ලේඛක පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් සිදු කරන අතර, එම කටයුතු තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට නව යෙදුමක් සකස් කරමින් සිටින බවද අමාත්‍යවරයා පැවසුවා.

මෙහිදී රත්නපුර අධිකරණයේ සේවක පුරප්පාඩු, කාර්යාල උපකරණ අවශ්‍යතා, තාක්ෂණික පහසුකම්, නීතිඥ කාර්යාල සංකීර්ණයේ ඉදිකිරීම් සහ වර්ණ ඡායාරූප යන්ත්‍රයක් ලබා ගැනීම පිළිබඳවත් සාකච්ඡා කර තිබෙනවා.

එසේම රත්නපුර දිස්ත්‍රික්කයට ණය සහන මණ්ඩල කාර්යාලයක් ලබාදෙන ලෙස නීතිඥවරුන් කළ ඉල්ලීම සම්බන්ධයෙන්, විධිමත් ඉල්ලීමක් අමාත්‍යාංශයට යොමු කරන ලෙස අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා.

Share This