“මොළේ උණ” රෝගය වැළඳී පුද්ගලයින් 250ක් හමුවේ

මෙනින්ජයිටීස් හෙවත් “මොළේ උණ” රෝගය වැළඳී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 250කට ආසන්න පිරිසක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
දෙණියාය, රිකිල්ලගස්කඩ, දියතලාව, වැලිමඩ සහ මහනුවර යන ප්‍රදේශවලින් මෙම රෝගීන් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හරේන්ද්‍ර දසනායක මහතා සඳහන් කළා.
කෙසේ වෙතත්, හඳුනාගෙන ඇති රෝගීන් අතරින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 50 දෙනෙකුටත් වඩා අඩු පිරිසක් බවයි වාර්තා වන්නේ.
ප්‍රජා වෛද්‍ය විශේෂඥ හරේන්ද්‍ර දසනායක මහතා පැවසුවේ, එන්ටරෝ වයිරස් කාණ්ඩයට අයත් වයිරසයක් මගින් මෙම මෙනින්ජයිටීස් රෝගය පැතිර යන බවට මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.
ඒ අනුව, රෝගය පැතිරීම වැළැක්වීමට සහ තමන් ආරක්ෂා වීමට නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ඉතා වැදගත් බවද සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා.
