මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමට නීති සංශෝධන කඩිනම් කරන්නැයි ජනාධිපතිගෙන් උපදෙස්
මත්ද්‍රව්‍ය මුලිනුපුටා දාන්න නීති සංශෝධන කඩිනම් කරන්න කියලා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
ඒ, “රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ඊයේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදීයි.
අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය යළි සමාජයට යාම වළක්වමින් ඒවා ඉක්මනින් විනාශ කිරීමත්, වරදකරුවන්ට දඬුවම් ලබාදීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමත් අවශ්‍ය බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
“රටම එකට” වැඩසටහන ආරම්භ කළ දා සිට මත්ද්‍රව්‍ය වැටලීම් 80%කින් ඉහළ ගොස් ඇති බවද මෙහිදී අනාවරණය වුණා.
එම කාලය තුළ ගංජා කිලෝ 5,400කට වැඩි ප්‍රමාණයක්, හෙරොයින් කිලෝ 1,900කට වැඩි ප්‍රමාණයක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1,900කට වැඩි ප්‍රමාණයක්, කොකේන් කිලෝ 271ක් සහ මත්පෙති ලක්ෂ 15කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊට අදාළව සැකකරුවන් එක්ලක්ෂ හැටඅට දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන් වුණා.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් යළි සමාජගත කිරීම සඳහා පුනරුත්ථාපන වැඩසටහන්, වෘත්තීය පුහුණු වැඩසටහන් සහ ස්වයංරැකියා සහාය වැඩසටහන් ක්‍රියාත්මක බවද මෙහිදී අනාවරණය කෙරුණා.
මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු සඳහා වෙනම අධිකරණයක් පිහිටුවීම, රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබාදීම සහ බන්ධනාගාර තදබදය අවම කිරීම සම්බන්ධවත් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබෙනවා.
පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු කිරීම වැළැක්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ කාන්තා හා ළමා කාර්යාංශය එක්ව ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
