බේරේ වැව සහ ඒ ආශ්රිත Floating Market සංවර්ධනය කරනවා – නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර
නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා කියලා තියෙන්නේ, පිටකොටුවේ තියෙන Floating Market එක අද වෙද්දී “පාවෙන වෙළඳ නගරයක්” නෙවෙයි, “පාවෙන අපායක්” වගේ තත්ත්වයකට වැටීලා තියෙනවා කියලා.
ඔහු මේ අදහස් පළ කරලා තියෙන්නේ අද (15) බේරේ වැව ආශ්රිත Floating Market එකේ තත්ත්වය බලන්න ගිය අවස්ථාවේදී.
අමාත්‍යවරයා කියන විදිහට, 2014දී ආරම්භ කරපු මේ ව්‍යාපෘතිය යටතේ කඩ 92ක් හදලා තිබුණත්, අද වෙද්දී වැඩ කරන්නේ කඩ 16ක් විතරයි. නිසි නඩත්තුවක් නැති නිසා බොහෝ කඩ කඩා වැටිලා, පාරිභෝගිකයෝත් එන්නෙ නැති තත්ත්වයක් උදා වෙලා තියෙනවා.
එමෙන්ම දැව සහ ලෝහ වලින් හදපු කොටස් දිරාපත් වෙලා නිසා මේ ස්ථානය දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්වෙලා තියෙනවා කියලත් ඔහු සඳහන් කළා.
Floating Market එක හරහා යන මාර්ගය භාවිත කරන ජනතාවටත් දැඩි අවදානමක් තියෙනවා කියලා අමාත්‍යවරයා පෙන්වා දුන්නා. යකඩ තහඩු ගැලවී තිබීම, අත්වැට කැඩී යාම, විදුලි පද්ධති අක්‍රිය වීම වගේ හේතු නිසා දිවා රෑ දෙකේම එය අනාරක්ෂිත තැනක් වෙලා තියෙනවා කියලයි ඔහු කියන්නේ.
ඒ වගේම මේ ප්‍රදේශය විවිධ අපචාර සිදුවන ස්ථානයක් බවටත් පත්වෙලා තියෙනවා කියලා ඔහු සඳහන් කළා.
නිලධාරීන්ට උපදෙස් දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියලා තියෙන්නේ, කඩිනමින් මේ අනාරක්ෂිත තත්ත්වය විසඳලා ජනතාවගේ සහ ව්‍යාපාරිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න කියලා.
ඒ වගේම කසල ඉවත් කිරීම, අනතුරු සහිත ස්ථාන සලකුණු කිරීම, භාෂා තුනෙන්ම දැනුම්දීම් පුවරු සවි කිරීම සහ Floating Market එක නැවත හොඳ මට්ටමකට ගෙන එන්න සැලසුම්ගත වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ඔහු අවධාරණය කළා.
මීට අමතරව, හෙක්ටයාර් 65ක් පුරා පැතිරුණු බේරේ වැව සංවර්ධනය කරන්නත්, එහි පරිසර හා සෞඛ්‍ය ගැටලු විසඳන්නත් අවශ්‍ය නිරීක්ෂණ කටයුතුත් අද සිදු කරලා තියෙනවා.
