බුත්තලදී හිස්වැසුම් නැතිව බයික් පැද්ද තරුණිය අද අධිකරණයට

ආරක්ෂිත හිස්වැසුම් නැතුව තරුණියන් තුන්දෙනෙක් එකම යතුරු පැදියක අනාරක්ෂිත විදිහට ගමන් කරන වීඩියෝවක් පසුගිය දවස්වල සමාජ මාධ්‍යවල බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා.

ඒ වීඩියෝව සහ ලැබුණු තොරතුරු ඔස්සේ බුත්තල පොලීසිය විමර්ශන ආරම්භ කරලා තිබුණා. ඒ අනුව යතුරු පැදියේ ලියාපදිංචි අයිතිකාරිය, එය පැදවූ තරුණිය සහ පසුපස ගමන් කළ අනෙක් තරුණියන් දෙදෙනාවත් හඳුනාගන්න පොලීසියට හැකි වෙලා තියෙනවා.

පොලීසිය කියන්නේ ඔවුන් කොළඹගේ ආර, හිදිකිවුල සහ උනාවටුන ප්‍රදේශවල පදිංචිකාරියන් කියලයි.

විමර්ශන වලදී තවත් අනාවරණය වෙලා තියෙන්නේ යතුරු පැදිය පැදවූ 23 හැවිරිදි තරුණියට වලංගු රියදුරු බලපත්‍රයක්වත් නොතිබූ බවයි.

ඒ අනුව රියදුරු බලපත්‍රයක් නැතුව යතුරු පැදිය ධාවනය කිරීම, හිස්වැසුම් නොමැතිව දෙදෙනෙකු රැගෙන යාම, නියමිත ප්‍රමාණයට වඩා මගීන් රැගෙන යාම සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම යන චෝදනා යටතේ ඇය අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්න නියමිතයි.

ඒ වගේම, රියදුරු බලපත්‍රයක් නොමැති අයෙකුට යතුරු පැදිය භාරදී තිබීම සම්බන්ධයෙන් එහි ලියාපදිංචි අයිතිකාරියත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බුත්තල පොලීසිය විසින් සිදුකරනවා.

Share This