කෝපි වගාකරුවන්ට සුබ ආරංචියක්
කෝපි වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් කෝපි වගාකරුවන් සඳහා නව රක්ෂණාවරණයක් හඳුන්වා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.
දේශීය හා විදේශීය වෙළෙඳපොළ තුළ ඉහළ වටිනාකමක් ඇති අපනයන බෝගයක් ලෙස කෝපි වගාව ශ්‍රී ලංකාව තුළ තවදුරටත් ව්‍යාප්ත කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ආවරණය ලබාගැනීම සඳහා කෝපි වගාව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයන්ට අනුකූලව සිදු කළ යුතු බව සඳහන්.
කෝපි පැල සිටුවීමෙන් පසු පළමු වසර තුන සඳහා රක්ෂණ ආවරණය ලබාදෙන අතර, ඒ සඳහා රක්ෂිත මුදලින් සියයට 7ක වාරිකයක් අය කෙරෙනවා.
ඒ අනුව,
පළමු වසර සඳහා රුපියල් 510,000ක රක්ෂණාවරණයක්,
දෙවන වසර සඳහා රුපියල් 660,000ක රක්ෂණාවරණයක්,
තුන්වන වසර සඳහා රුපියල් 840,000ක රක්ෂණාවරණයක්
ලබාදීමට නියමිතයි.
මෙම රක්ෂණය මඟින් නියඟය, ගංවතුර, වන අලි හානි, පාලනය කළ නොහැකි ශාක රෝග, කෘමි උවදුරු සහ වෙනත් වන සත්ව හානි සඳහා ආවරණය ලබාදෙනවා.
මීට අමතරව, රක්ෂිත මුදලින් සියයට 0.5ක අමතර වාරිකයක් ගෙවීමෙන් හදිසි ගිනි ගැනීම් සහ නායයෑම් සඳහාද අතිරේක ආවරණයක් ලබාගැනීමට කෝපි වගාකරුවන්ට අවස්ථාව හිමිවන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරනවා.
