කොළඹ ජාතික රෝහලේ පවතින ගැටළුවලට විසදුම් සොයන්න සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති කළමනාකරණ රැස්වීමක් පවත්වයි

2026 මැයි 17 වන දින, කළමනාකරණ රැස්වීමක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මෙම රැස්වීමේදී රෝහලේ පවතින ගැටළු, උපකරණ හා ඖෂධ හිඟය, මානව සම්පත්, පරිපාලන කටයුතු සහ සංවර්ධන වැඩසටහන් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. රෝගී ප්‍රතිකාර සේවාවන් අඛණ්ඩව හා ගුණාත්මකව පවත්වාගෙන යාම සඳහා කඩිනම් විසඳුම් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබුණා.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ඖෂධ සඳහා විශාල මුදලක් වෙන් කළද තවදුරටත් ඖෂධ හිඟය පිළිබඳ පැමිණිලි ලැබෙන බවයි. ඒ සම්බන්ධයෙන් සත්‍ය තත්ත්වය සොයා බැලීමට සහ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ද අවධානය යොමු කර තිබෙනවා.

එමෙන්ම, ශ්‍රී ලංකා ජාතික රෝහල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මිනුම් දණ්ඩක් ලෙස සලකන බැවින්, එය ආදර්ශමත්, කාර්යක්ෂම සහ ගුණාත්මක රෝහලක් ලෙස පවත්වාගෙන යාමේ වගකීම සියලු සෞඛ්‍ය වෘත්තිකයන් සතු බවද ඔහු අවධාරණය කළා.

රැස්වීමේදී ඉදිරිපත් කළ ගැටළු අතරින් සමහරකට එම අවස්ථාවේදීම විසඳුම් ලබාදීමට පියවර ගත් අතර, අනෙක් කරුණු සම්බන්ධයෙන්ද ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙනවා.

Share This