කොළඹ ජලාශ හා ඇළ මාර්ග නඩත්තුවට ඒකාබද්ධ සැලැස්මක් අවශ්‍යයි – එරංග ගුණසේකර
කොළඹ නාගරික කලාපයේ ජලාශ, ඇළ මාර්ග සහ ඇවිදින මංතීරු නඩත්තු කිරීම සඳහා ඒකාබද්ධ ආයතනික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ මහරගම නගර සභා බල ප්‍රදේශයේ තලවතුගොඩ ජලාශයේ ප්‍රතිසංස්කරණ කටයුතු සහ ඒ ආශ්රිත ඇළ මාර්ග හා ඇවිදින මංතීරු වල තත්ත්වය සොයා බැලීම සඳහා සිදු කළ ක්ෂේත්‍ර නිරීක්ෂණයකදීයි.
මෙහිදී නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව එක් සැලැස්මකට අනුව ඒකාබද්ධව තිරසර නඩත්තු කටයුතු සිදු කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ප්‍රදේශවාසීන් විසින් දිගු කාලයක් තිස්සේ නිසි නඩත්තු කටයුතු සිදු නොවන බවට එල්ල කරන චෝදනා සැලකිල්ලට ගනිමින් මෙම විශේෂ නිරීක්ෂණය සිදු කර ඇති බවද සඳහන්.
එමෙන්ම ජනතාවට සුවපහසු සහ සුන්දර පරිසරයක් ඇති කිරීමට කෙටි හා දිගුකාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.
මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා ඇතුළු නාගරික සංවර්ධන හා ඉඩම් සංවර්ධන ආයතනවල නිලධාරීන් කිහිප දෙනෙකුද එක්ව සිටියා.
