කාලගුණයෙන් ධීවර සහ නාවික ප්‍රජාවට අවවාදාත්මක නිවේදනයක්

කාලගුණයෙන් ධීවර සහ නාවික ප්‍රජාවට අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ රළු මුහුද පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (16) පෙ.ව 06.00ට නිකුත් කර ඇති එම නිවේදනය හෙට (17) පෙ.ව 06.00 දක්වා බලාත්මක වනු ඇති.

කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි එහි දක්වා ඇත්තේ.

ඒ අනුව මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළා.

මේ අතර උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

නැගෙනහිර පළාතේත්, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව සඳහන්.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවන බව කාලගුණ නිවේදනයේ දක්වා තිබෙනවා.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.

 

Share This