පෙබරවාරි මාසයේ සිට චීනයට 10% ක තීරුබදු

පෙබරවාරි මාසයේ සිට චීනයට 10% ක තීරුබදු

පෙබරවාරි 1 වන දින සිට චීන නිෂ්පාදිත භාණ්ඩ ආනයනය සඳහා 10% ක තීරුබදු පැනවීමට සලකා බලන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

මීට පෙර ධවල මන්දිරයේදී වාර්තාකරුවන් අමතමින් ඔහු ප්‍රකශ කළේ චීනය ලොව පුරා මත්ද්‍රව්‍ය අර්බුද අවුස්සන ඔපියොයිඩ් වර්ගයක් වන ෆෙන්ටැනයිල්, මෙක්සිකෝව සහ කැනඩාව හරහා අමෙරිකා එක්සත් ජනපදයට යවන බවයි.
එය වැලැක්වීමේ අරමුණෙන් මෙලෙස තීරු බදු පනවන බවයි, ඔහු නව පියවර සාධාරණීකරණය කරමින් සඳහන් කළේ.

ලේඛනගත නොකළ සංක්‍රමණිකයින් සහ මත්ද්‍රව්‍ය අමෙරිකාවට පැමිණීමට ඉඩ දෙන බවට චෝදනා කරමින් මෙක්සිකෝව සහ කැනඩාව මත 25% ක ආනයන බදු අය කරන බවට ට්‍රම්ප් මීට පෙර තර්ජන එල්ල කළා.
ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය පුරාම ඔහුගෙන් ලැබුණු ප්‍රධාන පොරොන්දුවක් වූයේ අධික තීරුබදුවන අතර, ඒවා අමෙරිකා එක්සත් ජනපද ආර්ථිකයට උපකාරී වනු ඇතැයි ඔහු අවධාරණය කළා.

කෙසේ වෙතත්, විශ්ලේෂකයින් පවසන්නේ එම අධික තීරුබදු අමෙරිකානුවන්ටම අහිතකර ලෙස බලපානු ඇති බවයි.

තවද එම අධික තීරු බදු විදේශී සමාගමවලින් පළිගැනීමක් වැනි පියවරක් බව ඔවුන් පවසනවා.

මේ අතර අමෙරිකා එක්සත් ජනපදය නමින් සඳහන් නොකළද, චීනයේ උප අගමැති අඟහරුවාදා කියා සිටියේ තම රට වෙළඳ ආතතීන්ට “ජයග්‍රාහී” විසඳුමක් සොයන බවත් එහි ආනයන පුළුල් කිරීමට කටයුතු කරන බවයි.

පසුගිය සඳුදා ඔහුගේ පදවි ප්‍රාප්තියෙන් පසු, අමෙරිකානු නව ජනාධිපතිවරයා මේ ආකාරයේ විධායක ක්‍රියාමාර්ග රැසකට අත්සන් තැබුවා.

Share This