මාංශ භක්ෂක භයානක පරපෝෂිතයෙක්

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ගොවිපළක දශක ගණනාවකට පසු මස් කන භයානක පරපෝෂිතයෙක් වන ස්ක්‍රූවෝම් (Screwworm) හමුවීමත් සමඟ එරට බලධාරීන් හදිසි ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

මෙම පරපෝෂිතයා හමුවී ඇත්තේ ටෙක්සාස් ප්‍රාන්තයේ ලා ප්‍රයෝර් ප්‍රදේශයේ පැටවකුගේ ශරීරයෙන්. කෙසේ වෙතත්, මේ දක්වා තවත් ගවයන් හෝ වෙනත් සතුන් අතර ආසාදන හඳුනාගෙන නොමැති බව ඇමරිකානු කෘෂිකර්ම ලේකම් බෘක් රෝලින්ස් ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය වසර තුළ මෙක්සිකෝව හරහා මෙම මැස්සා උතුරු දෙසට පැතිරෙමින් තිබූ නිසා ඇමරිකානු ගොවි ජනතාව මේ අවදානම ගැන දැනටමත් කනස්සල්ලෙන් පසුවෙමින් සිටියා.

මෙම පළිබෝධය මර්දනය කිරීම සඳහා නිෂ්ක්‍රීය කළ මැස්සන් නිපදවීමේ නව මධ්‍යස්ථානයක් ඉදිකිරීම ඇමරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබුණත්, එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වීමට 2027 අවසානය දක්වා කල් යන බව සඳහන් වෙනවා.

ආසාදිත සතා හමුවූ ප්‍රදේශය වටා කිලෝමීටර් 20ක කලාපයක් තුළ සතුන් ප්‍රවාහනය කිරීම වහාම නතර කර ඇති අතර, පරපෝෂිතයා තවත් පැතිරීම වැළැක්වීමට වෙනත් ආරක්ෂක පියවරත් ගෙන තිබෙනවා.

දැනට ලා ප්‍රයෝර් නගරයෙන් පිටවන ප්‍රධාන මාර්ග සියල්ලේම පරීක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා. එහිදී ගවයන් හෝ වෙනත් සත්ව ප්‍රවාහන රථ නවත්වා සතුන්ගේ ශරීරවල ස්ක්‍රූවෝම් ආසාදන ලක්ෂණ තිබේදැයි පරීක්ෂා කරන බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂිකර්ම ලේකම්වරිය පවසා තිබෙන්නේ, සියලු දෙනාම නියමිත ප්‍රතිකාර හා සත්ව ගමනාගමන සීමා පිළිපදින්නේ නම් මෙම පරපෝෂිතයා ඇමරිකාව තුළ ස්ථිරව පැතිර යාමේ අවදානමක් නොමැති බව විශ්වාස කරන බවයි.

විශේෂඥයන් පෙන්වා දෙන්නේ, ස්ක්‍රූවෝම් පරපෝෂිතයා සතුන්ගේ විවෘත තුවාලවල බිත්තර දමා, පසුව එහි සිටින පණුවන් ජීවී මස් ආහාරයට ගැනීම නිසා සතුන්ට බරපතළ හානි සිදුවිය හැකි බවයි. 🐄⚠️

Share This