වාහන ආනයනයේදී මුහුණදෙන ගැටළු ගැන ජනපතිගේ අවධානය

වාහන ආනයනයේදී මුහුණදෙන ගැටළු ගැන ජනපතිගේ අවධානය

මෙරටට වාහන ආනයනය කිරීමේදී මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.

ඒ, අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදීයි.

එහිදී මෝටර් රථ ආනයනය, රඳවා ගැනීමේ බදු සහ වැට් බදු එකතු කිරීම, ඩිජිටල්කරණය පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.

එමෙන්ම රට තුළ පවත්නා මූල්‍ය අර්බුදය සහ ආර්ථික ප්‍රමුඛතාවන් සැළකිල්ලට ගනිමින් අදාළ ගැටලු විසඳා ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.

ආදායම් බදුවලට යටත් නොවන විශ්‍රාමිකයින්ගෙන් අය කරන රඳවා ගැනීමේ බදු, නැවත ඔවුන්ට ලබාදීම සඳහා පහසු ක්‍රියාවලියක් සැකසීමේ වැදගත්කම ද දිසානායක මහතා විසින් පෙන්වා දී තිබෙනවා.

මීට අමතරව කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා එකතු කළ අගය මත බදු (වැට්) එකතු කිරීමේ ක්‍රියාවලීන් ඩිජිටල්කරණය කිරීමේ ඇති අවශ්‍යතාව පිළිබඳව කරුණු පෙන්වා දුන් ජනාධිපතිවරයා අවධාරණය කළේ, බදු අනුකූලතාවය සහ ආදායම් ඉපැයීම වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන විස්තීර්ණ ඩිජිටල් පද්ධතියක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරන බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය පිළිබඳව ද ජනාධිපතිවරයා එහිදී සුබවාදීව අදහස් පළ කළා.

රට යථා තත්ත්වයට පත්වෙමින් ස්ථාවරත්වය කරා ක්‍රමානුකූලව ගමන් කරමින් සිටින බව සඳහන් කළ දිසානායක මහතා පැවසුවේ, අතර වත්මන් අභියෝග මධ්‍යයේ වුවද ජනතාව වෙත ලබා දෙන ප්‍රතිලාභ වැඩි කිරීමට රජය කැපවීමෙන් කටයුතු කරන බවයි.

මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

Share This