ප්‍රධාන සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ රැසක් වාන් දමයි
ඊසාන දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් මේ වන විට ඇද හැළෙන අධික වැසි හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ රැසක් වාන් දැමීමේ තත්වයක් නිර්මාණය වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන වැව් 55ක්ද, මධ්‍යම ප්‍රමාණයේ වැව් 60කට අධික ප්‍රමාණයක්ද මේ වන විට වාන් දමමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම යන දිස්ත්‍රික්කයන්හී පිහිටා ඇති සියලුම ජලාශ මේ වන විට වාන් දමමින් පවතින බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ වැව් 8ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ වැව් 4ක්, මඩකළපුව දිස්ත්‍රික්කයේ වැව් 3ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැව් 4ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ එක් වැවක්, මහනුවර දිස්ත්‍රික්කයේ වැව් 2ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව් 9ක්, මොණරාගල දිස්ත්‍රික්කයේ වැව් 2ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැව් 4ක් හා මන්නාරම දිස්ත්‍රික්කයේ වැව් 2ක් ද වාන් දැමීම ආරම්භ වී තිබෙනවා.