IMF එකෙන් ඩොලර් මිලියන 695ක් ශ්‍රී ලංකාවට…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එහෙමත් නැත්නම් IMF එක යටතේ ක්‍රියාත්මක වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ 5වන සහ 6වන සමාලෝචන සාර්ථකව අවසන් වීමෙන් පසුව, අමෙරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් ශ්‍රී ලංකා භාණ්ඩාගාරයට ලැබී තිබෙනවා.

ඒ සඳහා අනුමැතිය ලබාදී තිබුණේ පසුගිය මැයි 27 වැනිදා පැවති IMF විධායක මණ්ඩල රැස්වීමේදීයි.

මතක ඇතිනේ, 2023 මාර්තු මාසයේදී IMF එක ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 3ක විස්තීර්ණ මූල්‍ය පහසුකමක් අනුමත කළා.

එම වැඩසටහනේ 5වන සහ 6වන සමාලෝචන පිළිබඳ තීරණය ගැනීමට පසුගිය 27 වැනිදා විධායක මණ්ඩලය රැස්වූ අතර, එහිදී IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා සඳහන් කළේ අභියෝග රැසක් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව වැඩසටහනේ කොන්දේසි ශක්තිමත්ව ක්‍රියාත්මක කර ඇති බවයි.

කෙසේ වෙතත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් අදියරට පැමිණ තිබුණත්, ණය තිරසාරභාවය සම්බන්ධ අවදානම තවමත් ඉහළ මට්ටමක පවතින බවද ඔහු පෙන්වා දී තිබෙනවා.

ඒ නිසා මිල ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම ප්‍රමුඛ කරගෙන, දැනට ක්‍රියාත්මක මූල්‍ය ප්‍රතිපත්ති අඛණ්ඩව පවත්වාගෙන යාම වැදගත් බවයි IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරයා අවධාරණය කර තිබෙන්නේ.

Share This