සංචාරක අමෙරිකානු කාන්තාවකගෙන් සොරකම් කළ මුදලින් ගත් සියල්ල නැවතත් ඇයටම

සංචාරක අමෙරිකානු කාන්තාවකගෙන් සොරකම් කළ මුදලින් ගත් සියල්ල නැවතත් ඇයටම

මහනුවර සිට ඇල්ල දක්වා ධාවනය වු දුම්රියක ගමන් ගත් අමෙරිකානු ජාතික කාන්තාවකගේ මුදල් පසුම්බියේ තිබු මුදල් කාඩ්පත් සොරකම් කිරීමේ සිද්ධියක් හැටන් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම සැකකරු 19 දින මහනුවර සිට ඇල්ල දක්වා ධාවනය වු විශේෂ දුම්රියේ ගමන් කර එම දුම්රියෙන් ගමන් ගත් අමෙරිකානු ජාතික කැෆෙන්ද්‍රා හොස්කන් නැමති 26 හැවිරිදි කාන්තාවකගේ මුදල් පසුම්බියේ තිබු මුදල් කාඩ්පත් රදවනය හැටන් සහ තලවකැලේ දුම්රිය ස්ථාන දෙක අතරදි සොරාගෙන දුම්රියෙන් බැස හැටන් නගරය වෙත පැමිණ තිබුණා.
පසුව ඔහු සොරගත් මුදල් කාඩ්පත් උපයෝගි කරගෙන ඇමරිකානු ඩොලර් 700 ක් වැයකරමින් රණ් මාලයක්, වටිනා ජංගම දුරකථනයක් සහ උපාංග, ඇදුම් පැළදුම්, සපත්තු සහ ආහාර ද්‍රව්‍ය කිහිපයක් මිල දි ගෙන ඇති බව සඳහන්.
ඔහු මිල දි ගත් රණ් මාලය හැටන් නගරයේ පෞද්ගලික උකස් මධ්‍යස්ථානයක උකස් කර රු 78,000.00/= මුදලක් ද ලබාගෙන තිබෙනවා.
කෙසේ වෙතත් ඇල්ල දුම්රිය ස්ථානය වෙත ගමන් ගත් අමෙරිකානු ජාතික කාන්තාව තමන් සතු මුදල් කාඩ්පත් අස්ථානගත වු බවට ඇල්ල දුම්රිය ස්ථානයේ සංචාරක පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත සංචාරක පොලීසිය විසින් ඒ පිළිබඳව හැටන් පොලිස් ස්ථානය වෙත දැනුම් දී ඇති බව සඳහන්.

පසුව හැටන් පොලීසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරීන් කළ පරීක්ෂණයකින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි සැකකරු සන්තකයේ තිබි අමෙරිකානු ජාතික කාන්තාවගේ අස්ථානගත වු මුදල් කාඩ්පත් සහ මුදල් කාඩ්පත් උපයෝගි කරගෙන මිල දි ගත් භාණ්ඩ සහ රු 38890.00/= දේශිය මුදල් සහ විදේශිය මුදල් නොට්ටු දෙකක්ද පොලිස් භාරයට ගත් බව සඳහන්.
මෙම සැකකරුව හැටන් මහෙස්ත්‍රාත් එම්.ෆරුක්ඩින් මහතා වෙත (21) දින ඉදිරිපත් කළ අවස්තාවේ සැකකරු වරද පිළිගෙන තිබෙනවා.
පැමිණිලිකාර සංචාරක කාන්තාවට අයත් මුදල් කාඩ්පත්, මුදල් සහ චුදිත සන්තකයේ තිබු මිල දි ගන්නා ලද සියළුම භාණ්ඩ ඇය වෙත භාරදෙන ලෙසයි මහෙස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇත්තේ.

එම සියළුම භාණ්ඩ අධිකරණයෙන් භාරගත් සංචාරක කාන්තාව හැටන් පොලීසියේ සියළුම නිලධාරින්ට සහ ශ්‍රි ලංකා පොලීසියට සිය ස්තුතිය පුද කර, මේ සම්බන්ධයෙන් අමෙරිකාවේ පදිංචි ඇයගේ ඥාතින් වෙත ද දුරකථනයෙන් දැනුම් දිමෙන් පසු එම ඥාතින්ද ශ්‍රි ලංකා පොලීසියට සිය ස්තුතිය පළ කර ඇති අතර, යලිත් ඇය ඇල්ල දක්වා පිටත්ව ගොස් ඇති බව සඳහන්.

22 හැවිරිදි සියාන් මොහොමඩ් සහාබ් යන මෙම චූදිතයාව මේ මස (28) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

තොරතුරු – ඉන්දික රොෂාන් කළුආරච්චි

Share This