හැටන් බස් අනතුරේ රියැදුරු අත්අඩංගුවට
හැටන් – මල්ලිඅප්පුව ප්‍රදේශයේ දී ඊයේ (21) සිදු වූ පෞද්ගලික බස් රථ අනතුරේ බස් රථය පැදවූ රියැදුරු එළැඹෙන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් එස්.රාම්මුර්ති විසින් අද (22) ලබාදුන් නියෝගයකට අනුවයි.
අනතුරෙන් තුවාල ලැබූ රියැදුරු දික්ඔය මුලික රෝහලේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
රෝහල වෙත පැමිණි වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා වෛද්‍යවරුන්ගෙන් සැකකාර රියදුරුගේ තත්ත්වය පිලිබඳව කරුණු විමසා රෝහල තුළම රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි නියෝග කළේ.
ඒ අනූව සැකකරු බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව මධ්‍යයේ නේවාසිකව ප්‍රතිකාර ලබනු ඇති.
මහනුවර, යටිනුවර වීථියේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙක්, හැටන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි දියණියක් සහ නෝර්වුඩ් ඉහළ කොටසේ පදිංචිව සිටි 67 හැවිරිදි පුද්ගලයෙක් එම බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණා.
අනතුරෙන් තුවාල ලැබූ තවත් 7 දෙනෙකු මහනුවර ශික්ෂණ රෝහලේ සහ 43 දෙනෙකු දික්ඔය මූලික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.