නොර්වේ Vikings රණශූරයන් පාපන්දු ලෝක කුසලානයට

වසර 2026 ෆිෆා ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමෙන් පසු, නෝර්වේ ජාතික පාපන්දු කණ්ඩායම ලොව පුරා කතාබහට ලක්ව ඇති සුවිශේෂී ඡායාරූප ව්‍යාපෘතියකට එක්ව තිබෙනවා.

සුපිරි තරුව අර්ලින් හාල්න්ඩ්, කණ්ඩායම් නායක මාටින් ඔඩෙගාඩ් ඇතුළු ක්‍රීඩකයින් සියලු දෙනාම නෝර්වේ රාජ්‍යයේ ඓතිහාසික වයිකින්ග් රණශූරයන් ලෙස සැරසී මෙම ඡායාරූප සඳහා පෙනී සිට ඇති බවයි වාර්තා වන්නේ.

“Norway is Coming” යන තේමාව යටතේ නෝර්වේ පාපන්දු සම්මේලනය විසින් නිකුත් කළ මෙම ඡායාරූප පෙළ සමාජ මාධ්‍ය තුළ වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා.

ලෝක ප්‍රකට ඡායාරූප ශිල්පියෙකු වන ඩේවිඩ් යාරෝ විසින් මෙම ඡායාරූප රූගත කර ඇති අතර, ඔස්ලෝ නගරයට ආසන්න මුහුදු වෙරළ ප්‍රදේශයක දැඩි සීතල කාලගුණය මධ්‍යයේ එය සිදුකර තිබෙනවා.

වයිකින්ග්වරුන්ගේ සාම්ප්‍රදායික සන්නාහ, පලිහ සහ අසිපත් රැගත් ක්‍රීඩකයින් සැබෑ රණශූරයන් පිරිසක් මෙන් පෙනී සිටින ආකාරය මෙම ඡායාරූපවලින් දැකගත හැකියි.

නෝර්වේ පාපන්දු බලධාරීන් පවසන්නේ, අතීතයේ සාගර තරණය කළ ධෛර්යවන්ත වයිකින්ග්වරුන්ගේ උරුමය නියෝජනය කරමින්, මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ජයග්‍රහණය සඳහා සටන් කරන නව පරපුරේ “පාපන්දු වයිකින්ග්වරුන්” ලොවට හඳුන්වාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවයි.

සැබෑ වයිකින්ග්වරුන් අතීතයේදී උතුරු ඇමරිකාවට ළඟා වූවා සේම, මෙවර හාල්න්ඩ් ප්‍රමුඛ නෝර්වේ කණ්ඩායමත් ඇමරිකානු භූමියේ පැවැත්වෙන ලෝක කුසලානය ජයගැනීමේ බලාපොරොත්තුවෙන් පිටියට පිවිසෙන බව මෙම ඡායාරූප මගින් සංකේතවත් කරනවා.

Share This