සහරා කතරේ අවාසනාවන්ත ඛේදවාචකයක්

සහරා කාන්තාරය මැද සිදුවූ අවාසනාවන්ත සිදුවීමකින් පුද්ගලයින් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මාලි සහ ඇල්ජීරියා දේශසීමාව ආසන්නයේ ගමන් කරමින් තිබූ ට්‍රක් රථයක් කාර්මික දෝෂයකට ලක්ව නතර වීමෙන් මෙම ඛේදවාචකය සිදුව ඇති බවයි.

ට්‍රක් රථයේ ගමන් කළ පිරිස නයිජීරියානු ජාතිකයන් වන අතර, ඔවුන් මාලි රාජ්‍යයේ පැවති ආගමික උත්සවයකට සහභාගි වී නැවත සිය රට බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

කාන්තාරයේ අතරමං වූ පිරිසට ජලය හෝ ආධාර ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් දැඩි පිපාසයෙන් බොහෝ දෙනා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, එම පිරිසෙන් දෙදෙනෙකු දිවි ගලවා ගැනීමට සමත්ව තිබෙනවා. ඔවුන් ජලය සොයා කිලෝමීටර් 50කට අධික දුරක් පාගමනින් ගොස් අවසානයේ ආධාර ලබාගැනීමට සමත්ව ඇති බව සඳහන්.

ඔවුන් ලබාදුන් තොරතුරු අනුව එම ස්ථානයට ළඟා වූ සහන කණ්ඩායම්, ට්‍රක් රථය අසල සහ ඒ අවට තිබූ මළ සිරුරු 49ක් සොයාගෙන ඇති අතර, පසුව එම සිරුරු සමූහ මිනීවළක භූමදානය කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

සහරා කාන්තාරයේ දැඩි උෂ්ණත්වය සහ ජල හිඟය හේතුවෙන් මෙවැනි මරණ සිදුවීම් වරින් වර වාර්තා වන බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

Share This