ශ්‍රී ලංකාව 2026 පළමු කාර්තුවේදී ඩොලර් බිලියන 8ක ණය ගෙවයි

2026 වසරේ පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 8කට අධික ණය වගකීම් සාර්ථකව ගෙවා අවසන් කර ඇති බව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ (PDMO) නවතම දත්ත පෙන්වා දෙනවා.

ඒ අනුව ජනවාරි සිට මාර්තු දක්වා මාස තුන ඇතුළත පමණක් ඩොලර් බිලියන 8.09ක් ණය සේවාකරණය සඳහා වැය කර ඇති අතර, එයින් බොහෝමයක් ආසන්න වශයෙන් ඩොලර් බිලියන 6ක් ප්‍රධාන ණය (Principal) ආපසු ගෙවීම් සඳහා වෙන් කර තිබෙනවා.

2022 වසරේ සිදුවූ ආර්ථික අර්බුදය හා ණය පැහැර හැරීමෙන් පසු ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළඳපොළ තුළ නැවත විශ්වාසය ගොඩනගමින් සිටින අතර, චීනය, පැරිස් සමාජය සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ ඇති කරගත් ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතා මේ සඳහා ප්‍රධාන හේතුවක් ලෙස සඳහන් වෙනවා.

මේ අතර රටේ සමස්ත පොදු ණය ප්‍රමාණය තවදුරටත් ඉහළ මට්ටමක (රුපියල් ට්‍රිලියන 32කට වැඩි) පවතින බවද වාර්තා වන අතර, නව ණය එකතු නොකරමින් දේශීය ආදායම් උපරිම කරගෙන පැරණි ණය ක්‍රමවත් ලෙස ගෙවීමට රජය සමත් වී ඇති බවද සඳහන්.

වෙළඳපොළ විශේෂඥයන් පෙන්වා දෙන්නේ දේශීය මූල්‍ය මෙවලම් හරහා රැස් කරගත් ප්‍රාග්ධනය නිසි ලෙස ණය කළමනාකරණයට යොදා ගැනීම මගින් රටේ මූල්‍ය විනය ශක්තිමත් වී ඇති බවයි.

මෙය, බංකොලොත්භාවයෙන් පසු ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ තුළ නැවත ස්ථාවර වීමේ වැදගත් සලකුණක් ලෙසද විශ්ලේෂකයන් දකින අතර, ඉදිරි විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමටද මෙය හොඳ සංඥාවක් බව ඔවුන් පෙන්වා දෙනවා.

Share This