මෛත්‍රීපාල සිරිසේන පසුකරමින් අනුර ජනපති ඉදිරියට

වෙරිටේ රිසර්ච් ආයතනය නිකුත් කළ නව වාර්තාවකට අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය පාලන කාලය තුළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වඩා වැඩි පනත් සංඛ්‍යාවක් සම්මත කරලා.
එම වාර්තාවේ සඳහන් වෙන්නේ, දූෂණය සහ වංචාව අඩු කරලා යහපත් පාලනයක් ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් ජනතාව අවස්ථා දෙකකදී වෙනසක් වෙනුවෙන් ඡන්දය භාවිතා කළ බවයි. ඒ අනුව එක් අවස්ථාවක මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අනෙක් අවස්ථාවේදී අනුර කුමාර දිසානායක මහතාත් ජනාධිපති ධුරයට පැමිණියා.
වාර්තාවට අනුව, මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පාලනයේ පළමු දින 126 තුළ පනත් කෙටුම්පත් 54ක් ගැසට් කරලා, 48ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් පනත් 20ක් සම්මත කරගෙන තියෙනවා.
අනුර කුමාර දිසානායක මහතාගේ පාලනයේ පළමු දින 136 තුළ පනත් කෙටුම්පත් 50ක් ගැසට් කරලා, 43ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් පනත් 32ක් සම්මත කරගෙන තිබෙන බව වාර්තාවේ සඳහන්.
හැබැයි ජනාධිපතිවරුන් දෙදෙනාගේ පාලනයේ මුල් මාස කිහිපය විතරක් සලකා බැලුවොත්, වැඩි වේගයකින් පනත් සම්මත කරගෙන තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් එම වාර්තාව පෙන්වා දෙනවා.
ඒ අනුව, මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පාලනයේ මුල් දින 41 ඇතුළත පනත් කෙටුම්පත් 17ක් ගැසට් කරලා, 16ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් පනත් 6ක් සම්මත කරනවා.
ඒත් සමස්ත පාලන කාලය බලද්දී, මේ දක්වා වැඩිම පනත් සංඛ්‍යාවක් සම්මත කරගෙන ඉන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බව වෙරිටේ රිසර්ච් ආයතනයේ වාර්තාවෙන් හෙළි වෙනවා.
