රුමේෂ් ලෝක හෙල්ල විසිකිරීමේ වාර්තා අතර 8වැනි ස්ථානයට

ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ඉතාලියේ රෝම නුවර පැවති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී අතිවිශිෂ්ට දක්ෂතාවක් දක්වමින් නව තරග වාර්තාවක් පිහිටුවලා තිබෙනවා.

ඊයේ රාත්‍රියේ පැවති තරගයේදී රුමේෂ් හෙල්ලය මීටර් 92.62ක් දුරට විසිකරලා මේ දක්ෂතාව වාර්තා කර තිබෙනවා.

වයස අවුරුදු 23ක් වන රුමේෂ්ගේ මේ විසිකිරීම 2026 වසරේ ලෝකයේ හොඳම හෙල්ල විසිකිරීම ලෙසත් වාර්තාගත වෙලා තිබෙනවා.

මේ සමඟ ඔහු බිඳ දැමුවේ 2006 වසරේදී නෝර්වේ ක්‍රීඩක ඇන්ඩ්‍රියාස් තෝර්කිල්ඩ්සන් මීටර් 90.34ක් විසිකරලා තබා තිබූ තරග වාර්තාවයි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 90 සීමාව පසු කළ පළමු ක්‍රීඩකයාත් රුමේෂ් තරංගයි.

ඒ වගේම ආසියාවේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසයේ දෙවැනි හොඳම දක්ෂතාවත් ඔහුගේ නමට එක්වෙලා තිබෙනවා.

ආසියාවේ හොඳම වාර්තාව තවමත් පාකිස්තානයේ අර්ෂාඩ් නදීම් සතුයි. ඔහු පැරිස් ඔලිම්පික් තරගාවලියේදී මීටර් 92.97ක් විසිකරලා තිබෙනවා. රුමේෂ්ගේ දක්ෂතාව සහ එම වාර්තාව අතර තියෙන්නේ සෙන්ටිමීටර් 35ක පමණ සුළු වෙනසක් විතරයි.

එමෙන්ම මීටර් 90 සීමාව පසු කළ සිව්වැනි ආසියානු ක්‍රීඩකයා බවටත් රුමේෂ් පත්වෙලා තිබෙනවා.

ඔහුගේ මේ විසිකිරීම ලෝක හෙල්ල විසිකිරීමේ ඉතිහාසයේ 8 වැනි හොඳම දක්ෂතාව ලෙසත් වාර්තා වෙලා තිබෙනවා.

ඒ වගේම පසුගිය වසර හතරකට වැඩි කාලයක් තුළ මීටර් 92 සීමාව පසු කළ දෙවැනි අවස්ථාවත් මෙය වීම විශේෂත්වයක්.

මේ තරගයේදී රුමේෂ් බිඳ දැමුවේ ඔහුගේම ශ්‍රී ලංකා වාර්තාවයි. ඔහු මීට පෙර මේ වසරේ මාර්තු මාසයේදී මීටර් 89.37ක දක්ෂතාවක් දක්වා තිබූ අතර, පසුව කෙන්යාවේ නයිරෝබිහිදී මීටර් 89.28ක් විසිකරලා තිබුණා.

රුමේෂ්ගේ මේ අතිවිශිෂ්ට දක්ෂතාව ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ තවත් රන් අකුරින් ලියැවෙන ජයග්‍රහණයක් ලෙස සැලකෙනවා.

Share This