ගිනිගත් හොරණ වැඩිහිටි නිවාසයේ භාරකරු අත්අඩංගුවට…
හොරණ, බටගොඩ ප්‍රදේශයේ පිහිටි “සෙනෙහසේ කැදැල්ල” වැඩිහිටි නිවාසයේ හටගත් විනාශකාරී ගින්නෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 12 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අනුව, ගින්නට පෙර හා පසු අවස්ථාවලදී දක්වා ඇති බව කියන නොසැලකිලිමත් ක්‍රියාකාරකම් හේතුවෙන් එම නිවාසයේ භාරකරු ලෙස කටයුතු කළ “ලොකු අයියා” නමින් හඳුන්වන පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගින්න හටගත් අවස්ථාවේ අසල්වැසියන් සහ සහන කණ්ඩායම් එක්ව සිදුකළ මෙහෙයුම් හේතුවෙන් නිවාසයේ සිටි පුද්ගලයින් 72 දෙනාගෙන් 54 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට හැකිවී ඇති බව වාර්තා වනවා. කෙසේවෙතත්, පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මියගිය පිරිස බේරා ගැනීමට අපහසු වී ඇත්තේ ඇතැම් පුද්ගලයින් සිටි ස්ථානවලම ගැටගසා තිබූ බවට ලැබී ඇති තොරතුරු හේතුවෙන් බවද සඳහන්.
බරපතළ තුවාල ලැබූ තවත් පුද්ගලයින් 6 දෙනෙකු තවදුරටත් හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, සිද්ධිය සම්බන්ධ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද පෙරවරුවේ හොරණ මහෙස්ත්‍රාත් ලක්මිණි විධානගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
ගින්නෙන් දිවි ගලවාගත් පිරිස මුලින් බටගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ තාවකාලිකව නවාතැන් ගැන්වූ අතර, පසුව යුද හමුදාවේ මැදිහත්වීමෙන් ගල්පාත ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක් වෙත ආරක්ෂිතව යොමු කර තිබෙනවා.
මේ අතර, ගිනිගත් වැඩිහිටි නිවාසයේ හිමිකරුද පොලිස් භාරයට ගෙන ඇති අතර ඔහු හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළා.
