යෝෂිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව ජූලි 09 දක්වා කල් තැබේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර ඇති නඩුව ජූලි 09 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී, පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා සිතාසි ලැබූ සාක්ෂිකරුවන් හය දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියා.
එහිදී නියෝජ්‍ය පොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දුන්නේ, විත්තිකරු විසින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් ඊයේ (03) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අතර එය ජුනි 16 වැනිදා විභාගයට ගැනීමට තීරණය කර ඇති බවයි.
එදින දක්වා මෙම නඩුවේ සාක්ෂි මෙහෙයවීම සිදු නොකරන බව පැමිණිල්ල විසින් අභියාචනාධිකරණයට දැනුම් දී ඇති බැවින්, සාක්ෂි කැඳවීමකින් තොරව නඩුව කල් තබන ලෙසද ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අනුව අභියාචනාධිකරණයේ තීරණය ලැබෙන තෙක් නඩුව ජූලි 09 වැනිදා දක්වා කල් තැබූ මහාධිකරණ විනිසුරුවරයා, අද පෙනී සිටි සාක්ෂිකරුවන්ට එදිනත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළා.
මෙම නඩුව ගොනු කර ඇත්තේ රුපියල් ලක්ෂ 730කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් අයතා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසිනි.
