ජූලි,අගෝස්තුවේ මෙරට නියඟ තත්ත්වයක්

වසර 10කට පමණ පසු ඇතිවිය හැකි ප්‍රබලම එල්-නිනෝ කාලගුණ තත්ත්වයක් ගැන එක්සත් ජාතීන්ගේ කාලගුණ සංවිධානය අනතුරු අඟවලා තියෙනවා.

ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් කියන්නේ මේකේ බලපෑම නිසා ජූලි සහ අගෝස්තු මාසවලදී ශ්‍රී ලංකාවට නියඟ තත්ත්වයක් ඇතිවෙන්න ඉඩ තියෙනවා කියලා.

එල්-නිනෝ කියන්නේ පැසිෆික් සාගරයේ ජල උෂ්ණත්වය සාමාන්‍යයට වඩා ඉහළ යන ස්වභාවික කාලගුණික සංසිද්ධියක්. මේක නිසා ලෝකයේ බොහෝ රටවල කාලගුණ රටාවන් වෙනස් වෙනවා.

මේ තත්ත්වය නිසා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව වගේ රටවලට වර්ෂාව අඩුවෙලා නියඟ ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම උතුරු සහ දකුණු අමෙරිකාවේ සමහර ප්‍රදේශවලට අධික වැසි, ගංවතුර සහ නායයෑම් වැනි ආපදා ඇතිවෙන්නත් ඉඩ තියෙනවා.

ජාත්‍යන්තර කාලගුණ විශේෂඥයන් අනාවැකි පළ කරන්නේ ජූනි සිට අගෝස්තු අතර කාලයේදී මේ තත්ත්වය ආරම්භ වෙන්න පුළුවන් කියලා. එය නොවැම්බර් දක්වා පවතින්නත් ඉඩ තියෙනවා.

ශ්‍රී ලංකාවට එහි බලපෑම් ලබන වසරේ පෙබරවාරි මාසය දක්වාම දැනෙන්න පුළුවන් බවත් සඳහන් වෙනවා.

මේකේ බලපෑම කාලගුණයට විතරක් නෙවෙයි. 2026 වසරේ දෙවැනි භාගයේදී ආසියාවේ බෝග වගාවන්ට සහ ආහාර සැපයුමටත් දැඩි බලපෑම් ඇතිවෙන්න පුළුවන් කියලා එක්සත් ජාතීන්ගේ කාලගුණ සංවිධානය කියනවා.

දැනටමත් පොහොර හිඟය සහ ඉන්ධන මිල ඉහළ යාම නිසා ගැටලු රැසකට මුහුණ දී සිටින ගොවීන්ට, මේ තත්ත්වය තවත් අමාරුකම් ඇති කරන්න පුළුවන් බවටත් අනතුරු අඟවලා තියෙනවා.

 

Share This