නිල්වලා ලවණ බාධකයෙන් වගා හානි වූ ගොවීන්ට ජනපති අනුරගෙන් වරුපියල් මිලියන 1200ක වන්දි…
ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) මාතර මාලිම්බඩදී, නිල්වලා ලවණ බාධකය නිසා 2019 සිට 2022 දක්වා වගා කිරීමට නොහැකි වූ ගොවීන්ට රුපියල් මිලියන 1200ක වන්දි ලබාදීම ආරම්භ කළා.
මෙම ලවණ බාධකය 2019දී ඉදිකිරීමෙන් පසු කඹුරුපිටිය, කැකණදුර, මාලිම්බඩ, විල්පිට, මඩිහ සහ තලල්ල ඇතුළු ප්‍රදේශවල ගොවි බිම් රැසකට නිතර ගංවතුර හා ජල ගැටලු ඇතිවුණා. ඒ හේතුවෙන් ගොවීන්ට කන්න 7ක් පුරා වගා කිරීමට නොහැකි වී තිබුණා.
2026 අයවැය යටතේ රජය මෙම වන්දි මුදල වෙන් කර ඇති අතර, වගා නොකළ අක්කර 12,800ක් සඳහා ගොවීන්ට වන්දි ලබාදීමට නියමිතයි. අද දිනයේ සංකේතාත්මකව ගොවීන් 250 දෙනෙකුට වන්දි ලබාදුන් අතර, ඉදිරි දින 14 ඇතුළත සියලුම ගෙවීම් අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.
ජනාධිපතිවරයා සඳහන් කළේ, ජනතාවට හානියක් සිදු වූ විට ඉක්මනින් වන්දි ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බවයි. ඒ සමඟ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කුඩා ව්‍යාපාර සඳහා ණය ලබාදීම, ප්‍රජාශක්ති වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ අධ්‍යාපන හා වෘත්තීය පුහුණු වැඩසටහන් ද ආරම්භ කර ඇති බවත් ඔහු කියා සිටියා.
සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේ, නිල්වලා ගඟේ ගැටලු සඳහා ස්ථිර විසඳුමක් සෙවීමට විශේෂඥ කමිටුවක් පත් කර ඇති බවයි. ඒ සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කර තිබෙන බවත්, මේ වසර අවසන් වන විට ලවණ බාධකයට ස්ථිර විසඳුමක් ලබාදීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා.
එසේම සමහර ගොවීන්ට රුපියල් ලක්ෂ 29ක පමණ වන්දියක් හිමිවන බවත්, ජුනි 18 වනදාට පෙර සියලු වන්දි ගෙවීම් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසුවා.
